ජනපති මෛත්‍රීපාල සිරිසේන: "ලෝකයේ කිසිම රටක බෝම්බ පිපිරුවයි කියල රාජ්‍ය නායකයෝ ඉල්ලා අස්වෙලා නෑ"

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

බෝම්බ ප්‍රහාර හේතුවෙන් ලෝකයේ කිසිම රටක රාජ්‍ය නායකයෙක් පදවියෙන් ඉල්ලා අස් වී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාර සහ ඉන් අනතුරුව රටේ මතු වී තිබෙන තත්වය ගැන බීබීසීය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

"ලෝකයේ කිසිම රටක බෝම්බ පිපිරුවයි කියල රාජ්‍ය නායකයෝ ඉල්ලා අස්වෙලාත් නෑ, ඒ වගකීම පැහැර හැරලත් නෑ. මම කරන්නෙත් මගේ වගකීම ඉෂ්ඨ කිරීම." ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

අයිඑස් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ප්‍රහාරය එල්ල කිරීම පිණිස ශ්‍රී ලංකාවම තෝරා ගත්තේ මන්දැයි යන්න තවමත් වටහාගත නොහැකි බව කියා සිටි ජනපතිවරයා, "බලවතුන් සමග ඔවුන්ට හැප්පෙන්න බැරි නිසා ලෝකේ බලවතුන්ට දැනෙන්න අපි වගේ අවිහිංසාවාදී රාජ්‍යයක් තොරගත්ත ද කියන එක ප්‍රශ්නයක්," බවත් සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාර ගැන රාජ්‍ය ඔත්තු සේවා දිගින් දිගටම අනතුරු ඇඟවීම් කර තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම "බරපතල පැහැර හැරීමක්" නොවේදැයි බීබීසී මාධ්‍යවේදියා ප්‍රශ්න කළ අවස්ථාවේ ජනාධිපතිවරයා කියා සිටියේ, "ආරක්ෂක ප්‍රධානීන් මේ පිළිබඳව කටයුතු නොකිරීමට" එරෙහිව දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇති බවය.

"අවම වශයෙන් ඔවුන් මාව දැනුවත් කළේ වත් නෑ, මෙවැනි තොරතුරක් ලැබිල තියෙන බව," ජනාධිපතිවරයා පැවසීය.

වීඩියෝ ශීර්ෂ වැකිය, ලෝකේ බලවතුන්ට දැනෙන්න අපි වගේ අවිහිංසාවාදී රාජ්‍යයක් තෝරගත්ත ද? - ජනපති
පාස්කු ඉරිදා ප්‍රහාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

තමන් දැනුවත් නොකිරීම සහ අදාළ තොරතුරු සම්බන්ධයෙන් "වගකීම පැහැර හැරීම" පිළිබඳව එම නිලධාරීන්ට එරෙහිව දැනටමත් පියවර ගෙන තිබෙන අතර පරීක්ෂණ කමිටුවක් ද පත්කර තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දුන්නේය.

කෙසේ වුවත් පසුගියදා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළ, හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අවධාරණය කර තිබුණේ, ප්‍රහාරයක් සිදු විය හැකි බවට අනතුරු අඟවමින් ජාතික බුද්ධි ප්‍රධානියා විසින් පොලිස්පතිවරයාට එවන ලද ලිපිය අනිවාර්යයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ද යොමු වන බවය.

"මේ ලියුම ගැන ක්‍රියාත්මක වුණේ නැහැ කියලා පොලිස්පති අල්ලන් කන්න කියන එක හරිද?, ජනාධිපතිට එහි පිටපතක් ගිහින් නැතිනම් ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක නොයන්න හේතුවක් නැහැ. ආරක්ෂක කවුන්සිලය සුමානෙට සැරයක් තිබුණා නම් මේ ගැන කතා කරන්න තිබුණා. මේ වගේ ලියුමක් ආවම ආරක්ෂක කවුන්සිලය වහා කැඳවිය යුතුයි." ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසා තිබුණි.

කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසාන සමයේ හමුදාපති පදවිය හෙබවූයේ ඔහුය.

සංචාරකයන්ගෙන් හිස්වූ අලුත්ගම වෙරළ

සංචාරක කර්මාන්තය

රහස් ඔත්තු සේවා ප්‍රමාණවත් ලෙස තොරතුරු බෙදාගැනීමට අපොහොසත් වූයේ විශේෂයෙන් මෑතදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර හටගත් "ප්‍රබල විරසකය" නිසා දැයි බීබීසීය කළ විමසීමේදී ජනාධිපතිවරයා කියා සිටියේ දෙදෙනා අතර "ඔය කියන විදියේ ප්‍රශ්නයක් නැති," බවය.

"පැහැදිලිවම ජාතික ආරක්ෂාව පිළිබඳව රටේ කෙරෙන කටයුතුවලදි කොහෙත්ම පවතින දේශපාලන ගැටළු සහ දේශපාලන ප්‍රශ්න ජාතික ආරක්ෂාවට බලපාන විදියට සිදුවෙලා නැහැ. සියලු දෙනාම එකට ඒ වගකීම ඉෂ්ඨ කිරීමේ කාර්යයේ නියැලී සිටිනවා," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

අර්බුදය අවස්ථාවේ දේශපාලන වාද, භේදවලින් තොරව ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කරමින් සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ ද සඳහන් කර තිබුණි.

ප්‍රහාරයෙන් අනතුරුව සංචාරක කර්මාන්තයට "බරපතල පසුබෑමක්" එල්ල වී තිබෙන බව පිළිගත් ජනාධිපතිවරයා කියා සිටියේ, ඔවුන් යළිත් කැඳවා ගැනීම සඳහා අත්‍යවශ්‍යව තිබෙන්නේ ශ්‍රී ලංකාව "ත්‍රස්තවාදය නොමැති රටක්" ය යන්න ඔවුන්ට ඒත්තු ගැන්වීම බවය.

"මේ රට සාමාන්‍ය තත්වයට පත්වන විට සංචාරකයන් පැමිණෙයි. ඔවුන්ගේ ආරක්ෂාව ඇතිකරන්න මම කටයුතු කරනවා."

කියවන්න: