ශ්‍රී ලංකාවේ පිපිරීම්: බුද්ධි අංශ ලිපිවල සඳහන් වූ කරුණු මොනවාද?

Sri Lankan military inspect St Sebastian church where a bomb blast took place in the town of Negombo, Sri Lanka, on April 22 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් ඉරිදා (අප්‍රේල් 21) එල්ල වූ ප්‍රහාර මාලාවෙන් සිය ගණනක් මරණයට පත් විය.පහත දැක්වෙන්නේ ප්‍රහාර මාලාව සහ ඒ පිටුපස සිටින්නේ කුමන කණ්ඩායමක් දැයි යන්න සම්බන්ධයෙන් කරන ලද පසු විපරමකි.

ශ්‍රී ලංකාව තුළ ප්‍රහාරයක් සිදු විය හැකි බවට අනතුරු අඟවමින් අප්‍රේල් 11 වෙනිදා බුද්ධි අංශ විසින් නිකුත් කරනු ලැබ ඇතැයි සඳහන් ලිපියක ඡායාරූප එකතුවක් පිපිරීම් සිදුවීමත් සමග සමාජ ජාල ඔස්සේ හුවමාරු විය.

ඒ සම්බන්ධයෙන් ඉරිදා ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේ අදාළ ලිපිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.

ඉන් අනතුරුව පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ප්‍රහාර පිළිබඳ යම් තොරතුරු කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම බරපතල කාරණයක් බවය.

මේ අතර අගමැතිවරයාගේ මාධ්‍ය හමුවට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ බුද්ධි අංශ විසින් අනතුරු අඟවා නිකුත් කරන ලද ලිපිය තමන් වෙත ලැබුණේ ප්‍රහාරය සිදු වූ දිනයේ බවය. (අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් එහි ඡායාරූප කිහිපයක් ෆෙස්බුක්හි පළ කර තිබිණි.)

මොකක්ද මේ ලිපිය?

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් පළ කරන ලද ලිපියේ සඳහන් කරුණු පහත පරිදිය:

  • ලිපිය නිකුත් කර ඇත්තේ "සිදු වෙතැයි සිතිය හැකි සැලසුම්සහගත ප්‍රහාරයක තොරතුරු" යන ශීර්ෂය සහිතවය.
  • එය පොලිස්පති පූජිත ජයසුන්දර වෙත යොමු කර ඇති බවත් ලිපියේ සඳහන් වේ.
  • අධ්‍යක්ෂ/ ඇමති ආරක්ෂක කොට්ඨාසය, අධ්‍යක්ෂ/ අධිකරණ ආරක්ෂක කොට්ඨාසය, අධ්‍යක්ෂ/ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය, වැඩබලන අධ්‍යක්ෂ/ තානාපති ආරක්ෂක කොට්ඨාසය, වැඩබලන අධ්‍යක්ෂ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය වෙත ලිපියේ පිටපත් යොමු කර ඇත.
  • "ජාතික තව්හිත් ජමාත් නායක මොහොමඩ් සහරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන ලද බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය මගින් ලබා දී තිබෙන වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ඔබගේ විශේෂ අවධානය යොමු කරමි," යනුවෙන් එහි සඳහන් වේ.
  • ඒ අනුව එම වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳ දැඩි අවධානය යොමු කර "ඔබ කොට්ඨාසය මගින් ආරක්ෂාව සපයනු ලබන ප්‍රභූවරුන්/ස්ථානවල ආරක්ෂාව පිළිබඳ ඉතාමත් දැඩි අවධානයකින් සහ සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසට සියලුම නිලධාරීන් දැනුවත් කරන" ලෙස ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

ප්‍රහාරවලට පෙර

A security personnel inspects inside St Sebastian's Church in Negombo on April 22, 2019, a day after the church was hit in series of bomb blasts targeting churches and luxury hotels in Sri Lanka. - The death toll from bomb blasts that ripped through churches and luxury hotels in Sri Lanka rose dramatically April 22 to 290 -- including dozens of foreigners -- as police announced new arrests over the country's worst attacks for more than a decade.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශාන්ත සෙබස්තියන් දේවස්ථානය මීගමුව

මේ අතර හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පළ කරන ලද තවත් ලිපියක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාතික තව්හිත් ජමාත්හි මොහොමඩ් සහරාන් සහ ඔහුගේ සහායකයන් තවත් සුළු මොහොතකින් ශ්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවය.

ඔවුන් "වැදගත් දේවස්ථාන" සමහරක් ඉලක්ක කිරීමට සැලසුම් කරන බව ලිපියේ පැහැදිලිව දැක්වේ.

"ත්‍රස්තවාදීන්" විසින් පහත දැක්වෙන ඕනෑම ආකාරයක ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමට ඉඩ ඇති බවත් එහි සඳහන් වේ.

  • මරාගෙන මැරෙන ප්‍රහාරයක්
  • ගිනි අවි ප්‍රහාරයක්
  • පිහි ප්‍රහාරයක්
  • ට්‍රක් රථයක් යොදා ගනිමින් කරන ප්‍රහාරයක්

මොහොමඩ් සහරාන් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ හැකි යැයි සිතිය හැකි පුද්ගලයන් සය දෙනෙකුගේ නම් ද එහි සඳහන් කර ඇත.

ඔවුන්ගෙන් ඇතැමෙක් සැඟවී සිටින ස්ථාන සහ සිය පවුලේ සාමාජිකයන් හමුවීමට පැමිණෙන දිනයන් ද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

ප්‍රභූවරුන් ලෙස නොසැලකෙන දෙසිය අනූදෙනෙකු මරණයට පත් කරමින් ප්‍රහාර මාලාවක් දියත් වූයේ මෙවන් පසුබිමකදීය.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

ප්‍රහාර සිදුව පැය විසිහතරකට වැඩි කාලයක් ඉක්ම ඇතත් මේ දක්වා කිසිවකුත් එහි වගකීම භාර ගෙන නොමැති අතර "ජාතික තව්හිත් ජමාත්" නමැති කණ්ඩායමක් එහි පිටුපස සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

සමහර පිපිරවීම් මරාගෙන මැරෙන ප්‍රහාර බව රජය විසින් තහවුරු කරනු ලැබීය.

ඉදිරියේදී සිදු විය හැකි ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා පොලිසිය සහ ආරක්ෂක හමුදා මෙහෙයුම් දියත් කර තිබෙන අතර ස්ථාන කිහිපයකින් පුපුරන ද්‍රව්‍ය සොයා ගනු ලැබ තිබේ.

වගකීම කාගේද?

A woman prays at St Sebastian's Church in Negombo on April 22, 2019, a day after the church was hit in series of bomb blasts targeting churches and luxury hotels in Sri Lanka. - At least 290 are now known to have died in a series of bomb blasts that tore through churches and luxury hotels in Sri Lanka, in the worst violence to hit the island since its devastating civil war ended a decade ago. (Photo by Jewel SAMAD / AFP) (Photo credit should read JEWEL SAMAD/AFP/Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඉදිරියේ යාඥාවේ යෙදෙන කාන්තාවක්

බුද්ධි අංශ විසින් ඉහත කී ආකාරයේ අනතුරු ඇඟවීමක් කරනු ලැබ තිබියදීත් ඒ සඳහා ප්‍රමාණවත් පියවර නොගෙන ඇති බව පවසමින් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් කෝපය පළ වේ.

පසුගිය සැප්තැම්බර් 26 වෙනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරනු ලදුව එතෙක් නීතිය සහ සාමය අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තමන් යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගනු ලැබීය.

එතැන් සිට මේ ප්‍රහාර එල්ල වීම දක්වා අගමැතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමත්‍යවරයා ආරක්ෂක කවුන්සිලයට කැඳවා නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වය පවසයි.

ප්‍රහාර පිළිබඳ යම් තොරතුරු කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබීම බරපතල කාරණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉරිදා කියා සිටියේය.

මෙවැනි ප්‍රහාරයක් එල්ලවන බවට ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් අප්‍රේල් 04 වෙනිදා ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කර ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න සඳුදා මාධ්‍ය අමතමින් කියා සිටියේය.

ඉන් පසු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අප්‍රේල් 09 වෙනිදා ඒ බව පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත් එම "ත්‍රස්ත කල්ලියේ" සාමාජිකයින්ගේ නම්, දුරකථන අංක සහ ජාතික හැඳුනුම්පත් අංක ද එහි සඳහන් කර ඇති බවත් ඔහු පැවසීය.

නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක අප්‍රේල් 11 වෙනිදා ඒ සම්බන්ධයෙන් සියලු ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල අධ්‍යක්ෂවරුන් දැනුවත් කර තිබෙන බවත් අමාත්‍ය සේනාරත්න කියා සිටී.

"නමුත් එම දැනුවත් කිරිම ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයට සහ අගමැති ආරක්ෂක කොට්ඨාසයට ලබාදී නැහැ. ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වන නිසා එවැනි දැනුවත් කිරීමක් නොකරන්න ඇති."

"ජනාධිපතිවරයා ආරක්ෂාව පිළිබද අමාත්‍යවරයායි. එතුමා විදේශගත වන විට වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධූරයට කිසිවෙක් පත් කර තිබුනෙත් නැහැ. කාටවත් වගකීම් බාරදීලා තිබුනෙත් නැහැ."

පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස්ගතව සිට ඉරිදා රාත්‍රියේ නැවත ශ්‍රී ලංකාවට පැමිණි මෛත්‍රිපාල සිරිසේන ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.