ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කතානායක කරු ජයසූරිය ගේ ස්ථාවරය ප්‍රතික්ෂේප කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/PMD
ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් බදාදා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු බව දන්වමින් කතානායක කරු ජයසූරිය විසින් තමන් වෙත එවන ලද ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලිඛිත ප්‍රතිචාරයක් දක්වා තිබේ.
"ඔබතුමා මාවෙත එවන ලද ඉහත කී ලිපියේ යෝජනා අංක 1 මගින් දක්වා ඇති කරුණ, එනම් එහි සඳහන් පත්වීම සහ නියෝග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට දක්වා ඇති ප්‍රකාශය, මා තරයේ ප්‍රතික්ෂේප කරමි. එම අංක 1 යෝජනාවේ මා ගත් ක්‍රියා මාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ නීතිමය තීරණයන්ය," යනුවෙන් ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත යවන ලද ලිපියේ දැක්වේ.
"මා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයෙහි ව්‍යවස්ථානුකූලත්වය තීරණය කිරීමට පාර්ලිමේන්තුව වෙර දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරුපනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරුණු තනි සහ අනන්‍ය බලය අතික්‍රමණය කිරීමක් බව ද, එයින් ඔබතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස අවධානය යොමුකර නොමැති බවද පෙනේ."
වැඩිදුරටත් කරුණු දක්වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන: "තවද අගමැතිවරයෙකු පත් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව පූර්ණ බලධාරියා වන්නේ ජනාධිපතිවරයා බවද වැඩිදුරටත් කාරුණිකව දන්වමි," යනුවෙන් ද එහි සඳහන් කරයි. (ජනාධිපතිවරයාගේ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.)

ඡායාරූප මූලාශ්‍රය, PMD

ඡායාරූප මූලාශ්‍රය, PMD
කතානායක කරු ජයසූරිය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද මාධ්‍ය වෙත නිකුත්කර නොමැති අතර, විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව පවසමින් කතානායක කාර්යාලය විසින් ඊට පෙරාතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.
"විශ්වාස භංග යෝජනාවට පක්ෂව බහුතරය ඡන්දය ප්‍රකාශ කළ අතර, ඒ අනුව එම විශ්වාස භංග යෝජනාව බහුතරයෙන් සම්මත වූ බවට ගරු කතානායකතුමන් විසින් සභාව වෙත නිවේදනය කරන ලදි," යනුවෙන් කතානායක කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයේ සඳන් වේ.
"විශ්වාස භංග යෝජනාවේ පිටපතක් සහ ඊට අදාල සභාවේ තීරණයද ගරු ජනාධිපතිතුමන් විසින් පසුගියදා පත්කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට සඳහන් මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් තබන ලද ලිපියේ පිටපතක් ද ව්‍යවස්ථානුකුලව ඉදිරි පියවර ගැනීම සඳහා ගරු ජනාධිපතිතුමන් වෙත දන්වා යැවීමට ගරු කතානායකතුමන් විසින් පියවර ගනු ඇත," යනුවෙන් ද එම නිවේදනයේ දැක්වේ. (සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.)

ඡායාරූප මූලාශ්‍රය, Speakers Office
මේ අතර බ්‍රහස්පතින්දා (නොවැම්බර් 15) උදෑසන පැමිණ තමන් හමුවන මෙන් බදාදා පාර්ලිමේන්තුවේදී සමත කෙරුණු විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ සියලුම පක්ෂවල නායකයන් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරාධනා කර තිබේ.
මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවක් නැතැයි බීබීසී සිංහල සේවය සමග කියා සිටි රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව එහිදී ජනාධිපතිවරයාට දැනුම් දෙන බව ද සඳහන් කළේය.
ඒ සඳහා තමන්ට සහාය දෙන මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිත දිවුරුම් පෙත්සමක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙයි.
ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂ බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරනු ඇතැයි වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණි.
විශ්වාස භංග යෝජනාව 'පිළිගන්නේ නෑ'
මේ අතර බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ, නිසි පාර්ලිමේන්තු සම්ප්‍රදායය අනුගමනය කරමින් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළේ යයි තමන් පිළිනොගන්නා බවය.

එබැවින් අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත වූයේ යයි කතානායක කරු ජයසූරිය කළ නිවේදනය ප්‍රතික්ෂේප කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
විශේෂයෙන්ම ස්ථාවර නියෝග අත්හිටුවීම, විශ්වාසභංග යෝජනාව භාරදීම, ඡන්දය විමසූ ආකාරය සහ ප්‍රතිඵලය නිවේදනය කළ ආකාරය ඇතුළු සියලු කටයුතු පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලව සිදු නොවූ බවත් ඔහු සඳහන් කළේය.
"අපි කිව්‍ව සම්පූර්ණයෙන්ම මේක නීති විරෝධීයි කියල," අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය.
"ඉතින් මම හිතන්නේ බටහිර තානාපතිවරු සේරම දෙනා ඉස්සරහ ඉතාම වැරදි සහගත විදියට මේ ක්‍රියාදාමය කළා."
කියවන්න:
මංගලගේ ප්‍රතිචාරය
කෙසේ වුවත් විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද 122 ක් ලබාගනිමින් "අති විශිෂ්ඨ" ජයග්‍රහණයක් ලබාගැනීමත් සමගම "නීති විරෝධී ලෙස" අගමැති පදවියට පත්වී සිටි මහින්ද රාජපක්ෂ මෙන්ම "නීති විරෝධී" කැබිනට් මණ්ඩලය ද අහෝසිවන බව මංගල සමරවීර විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

"ඒ වගේම නීති විරෝධී ලෙස පත් වී තිබුණ විවිධ ආයතනවල ප්‍රධානීන්, ජනමාධ්‍ය ප්‍රධානීන් සියල්ලම අහෝසි වෙනව."
විශ්වාස භංග යෝජනාව සම්මතවීමත් සමගම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් බලයට පත්වූ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට යළිත් වතාවක් "යහපාලන ක්‍රියාමාර්ගය" බාධාවකින් තොරව ඉදිරියට ගෙනයාමට තමන්ට අවස්ථාවක් ලැබෙන බව ද හිටපු මාධ්‍ය සහ මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.
2015 ජනවාරි 08 වෙනි දින ලැබුණු ජනවරම ප්‍රකාර රටේ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය ශක්තිමත් කළ නමුත් "බලාපොරොත්තු වූ වේගයෙන්" එය කළ නොහැකි වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන "කකුලෙන් ඇද්ද නිසා" බව පවසන මංගල සමරවීර මන්ත්‍රීවරයා, ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට ජනාධිපතිවරයා ඉඩ නොදුන් බවටත් චෝදනා කළේය.
එමෙන්ම රටේ දේශපාලන අර්බුදය පැවති ගතවගිය සති දෙක ඇතුළත රටේ ආර්ථිකය විශාල වශයෙන් බිඳ වැටී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
"ඇත්තම කියනව නම්, දවස් දෙක තුනක් ඇතුළත අවුරුද්දක් තිස්සේ පිටට ගිය සල්ලි ප්‍රමාණය එක දවසෙන් මේ රටෙන් එලියට ගලාගෙන ගියා," යනුවෙන් ද මංගල සමරවීර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
තවත් කියවන්න:
- මැතිවරණය කැඳවීමේ පියවරට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකුගෙන් පෙත්සමක්
- ජනපති මෛත්‍රීගේ 'සමනල්' කතාව ගැන රජයේ පැහැදිලි කිරීම
- "ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා" - මහින්ද රාජපක්ෂ
- හැමෝම සතුටු කරන්න නම් අයිස්ක්‍රීම් විකුණන්න ඕනෑ - මැතිවරණ කොමිසමේ සභාපති
- ජනපති මෛත්‍රීට "හෝමොෆෝබියාව"
- පාර්ලිමේන්තුව විසුරුවීම පිළිබඳව ලෝක ප්‍රජාව පළ කළ අදහස්








