ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: "ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා" - මහින්ද රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, Mahinda rajapaksa/twitter
ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසීය.
ජනාධිපතිවරයා විසින් අත්සන් තබන ලද ඒ සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීම පිණිස රජයේ මුද්‍රණාලය වෙත පිටත් කොට ඇති බව ද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් පළ කළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා, "ජනාධිපතිවරයාගේ තීරණය නීති විරෝධීයි. නිත්‍යානුකූල නොවන නියෝගයක් පිළිනොගන්නා ලෙස අපි ස්වාධීන මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා," යනුවෙන් පැවසීය.
"ලේ වැගිරවීමකින් තොරව මේ ගැටලුව විසඳන ලෙස අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා," ඔහු තවදුරටත් පැවසීය.
19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය
19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර පාර්ලිමේන්තුව තේරී පත් වී වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශාරදයන් පිරිසක් බීබීසී සිංහල සේවයට සිකුරාදා (09) ප්‍රකාශ කළහ.
එහෙත් ජනාධිපතිවරයාට එවැනි බලයක් තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඇතුළු තවත් නීතිඥවරුන් පිරිසකගේ මතය වී තිබේ.
කියවන්න:
2015 අප්‍රේල් මාසයේ සම්මත කරගන්නා ලද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා දෙකක සඳහන් වේ.
ඒ 70 සහ 33 ව්‍යවස්ථාවලය.


අන්තර්ජාතික ප්‍රජාව අවධානයෙන්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් දිනට පාර්ලිමේන්තුව කැඳවන්නේ දැයි යන්න පිළිබඳ තමන් සැලකිල්ලෙන් පසුවන බව යුරෝපා සංගමය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ සහ ස්විට්සර්ලන්ත තානාපතිවරු සිකුරාදා (09) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
"රට වර්තමානයේ මුහුණ දී තිබෙන බරපතල අවිනිශ්චිතතාව විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස් වූ වහාම එහි විශ්වාසය පෙන්නුම් කිරීම සඳහා ඡන්දයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බව අපගේ සැලකිල්ලට ලක්ව තිබේ," යනුවෙන් කොළඹ යුරෝපා සංගම් තානාපති කාර්යාලය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්විණි.
වැඩි විස්තර ඉක්මනින්ම ඉදිරිපත් කරන්නෙමු.










