ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නැහැ - කතානායක

ඡායාරූප මූලාශ්‍රය, Harsha De Silva/Twitter
පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සඳහා කතානායකවරයා පාර්ලිමේන්තුවේ කැමැත්ත විමසූ අතර ඒ සමග මෛත්‍රීපාල - මහින්ද පාර්ශවයේ දැඩි විරෝධය ඊට එල්ල විය.
කෙසේ නමුත් බහුතරයකගේ හඬ සැලකිල්ලට ගෙන ආණ්ඩු පක්ෂයට බහුතරයක් නොමැති බව කතානායක කරු ජයසුරිය ප්‍රකාශ කළේය.
එහෙත්, එය නොපිළිගන්නා බව මෛත්‍රිපාල - මහින්ද පාර්ශවය පවසයි.
පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා 10.00 යළි රැස්වන බව කතානායකවරයා කියා සිටියේය.
මේ අතර මෛත්‍රීපාල - මහින්ද පාර්ශ්වයට සහාය පළ කිරීමට එක්වූ වඩිවේල් සුරේෂ් සහ වසන්ත සේනානායක පාර්ලිමේන්තු සැසිය අවසන් වීමෙන් පසු කියා සිටියේ ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව සිය සහය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන බවය.

ඡායාරූප මූලාශ්‍රය, Harsha De Silva/Twitter
විශ්වාසභංග යෝජනාව සම්මත වීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ පිරිස් විවිධ අදහස් පළ කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල බීබීසී සිංහල සේවයට පැවසුවේ, පාර්ලිමේන්තු නියෝගවල 135 වගන්තිය යටතේ ස්ථාවර නියෝග අත්හිටුවා ඕනෑ ම අවස්ථාවක විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකි බවය.
ඒ අනුව, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විශ්වාසභංග යෝජනාව සභාවට කියවූ අතර ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමේදී උණුසුම් තත්ත්වයක් ඇති වූ බවත් කතානායකවරයා එහිදී වාචිකව ඡන්දය විමසූ බවත් ඔහු සඳහන් කළේය.
"විශ්වාසභංග යෝජනාවට පක්ෂ කවුද කියල ඇහුව ම මන්ත්‍රීවරුන් 120ක් පමණ කැමැත්ත පළ කළා. විපක්ෂ කවුද කියල ඇහුව ම කිසි ම කෙනෙක් විරුද්ධ බව ප්‍රකාශ කළේ නැහැ. ඒ අනුව කතානායකවරයා පිළිගත්තා විශ්වාසභංග යෝජනාව සම්මතයි කියලා" ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.
කෙසේ වෙතත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා බීබීසී සිංහල සේවයට පැවසුවේ, "ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස විශ්වාසභංග යෝජනාව සම්මත කර ගත්" බවය.
එම ඡන්ද විමසීම නීති විරෝධී බව ද ඔහු ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, විශ්වාසභංගය සම්මත වූ බවට කතානායකවරයා සභාවට දැනුම් දුන් බවය.

ඡායාරූප මූලාශ්‍රය, Twitter
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක බීබීසී සිංහල සේවයට පැවසුවේ, "වත්මන් රජයේ මන්ත්‍රීවරුන් ඡන්ද විමසීමට මුහුණ නොදී පැනල යන්න උත්සහ කළා. ඒ අවස්ථාවේ කතානායකවරයා ඡන්ද විමසීම කටහඬින් සිදු කළා. ඔහු පිළිගත්තා වත්මන් රජයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති බව" යනුවෙනි.
බීබීසී සිංහල සේවය සමග සජීවීව එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ, "ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න මේ රටේ තවමත් අවස්ථාව පවතින බව අද තහවුරු වුණා" යනුවෙනි.
ඡන්ද විමසීමට මුහුණ නොදී වත්මන් රජය සහ පත් කළ අග්‍රාමාත්‍යවරයා පළා ගිය බව ද ඔහු සඳහන් කළේය.
මෙම තත්ත්වය හමුවේ සාමකාමීව සිටිමින් සහය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සරත් ෆොන්සේකා එහිදී පැවසීය.
මේ අතර, තිලංග සුමතිපාල ප්‍රකාශ කළේ, විශ්වාසභංග යෝජනා සම්මත වුව ද ඔවුන් "ආණ්ඩුව කරගෙන යන" බවය.
පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂට සහ වත්මන් රජයට බහුතර බලයක් නොමැති බව තහවුරු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක බීබීසී සිංහල සේවය සමග පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුව සිය තීන්දුව දී ඇති බවත් රනිල් වික්‍රමසිංහට යළි අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගත යුතු බවත්ය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව සිටි වසන්ත සේනානායක බීබීසී සිංහල සේවයට පැවසුවේ, වත්මන් රජයට බහුතර බලය නොමැති බව තහවුරු වූ හෙයින් තමන් එක්සත් ජාතික පක්ෂයට සහය දෙන බවය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post








