ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අත්හිටුවයි

ශ්‍රේෂ්ඨාධිකරණය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/BBC

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා (නොවැම්බර් 09) පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.

මැතිවරණ පැවැත්වීම වළක්වාලමින් තවත් අතුරු නියෝගයක් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත නිකුත් කර තිබේ.

මෙම අතුරු නියෝග ලබන දෙසැම්බර් මස 7 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර පෙත්සම් විභාගය දෙසැම්බර් මස 4, 5 සහ 6 යන දිනවල පවත්වන බවද අධිකරණය තීන්දු කළේය.

පුරා දින දෙකක් තිස්සේ පැවති දීර්ඝ කරුණු සලකා බැලීම් වලින් පසුව එම නියෝගය නිකිත් කරනු ලැබුවේ අග විනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

මේ ගැනත් දැනගන්න:

ජනාධිපතිවරයාගේ තීන්දුව ව්‍යවස්ථා විරෝධී බව පවසමින් දේශපාලන පක්ෂ, මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකරුවන් විසින් පෙත්සම් 12 ක් ඉදිරිපත් කර තිබුණු අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බව පවසමින් මැති, ඇමතිවරුන් විසින් පෙත්සම් 5 ක් ඉදිරිපත් කර තිබුණි.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

පෙත්සම් පිළිබඳ විභාගයේ තීන්දුව සවස පහට ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණ ද එය ප්‍රකාශයට පත්කෙරුණේ පැයකට පමණ පසුවය.

දේශපාලන නායකයන්, නීතිඥයන් සහ දෙස් විදෙස් මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් තීන්දුව බලාපොරොත්තුවෙන් අධිකරණ භූමියට රැස්ව සිටියහ.

අඟහරුවාදා පෙරවරුවේ පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ නීතිපති ජයන්ත ජයසූරිය සිය දේශනය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ 33 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදන වලට පරිබාහිරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අමතර බලයක් එම වගන්තිය තුලින් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බව ද නීතිපතිවරයා එහිදී සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය අධිකරණය මගින් අත්හිටුවීමක් සිදුකරනු ලැබූවොත් ඒ තුළින් ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අත්හිටුවීමක් වීමක් සිදු වන බව ද නීතිපතිවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉන් අනතුරුව අමාත්‍ය උදය ගම්මන්පිල, ආචාර්ය චන්න ජයසුමන, නීතීඥ ප්‍රේම්නාත් දොලවත්ත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීඑල් පීරිස් ඇතුළු පාර්ශ්ව හයක් විසින් මෙම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වූහ.

ඔවුන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය හමුවේ දන්වා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන නිවේදනය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ නොහැකි බවය.

එබැවින් පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් ඉල්ලා තිබෙන සහන ව්‍යවස්ථාවට පටහැනි ඒවා බැවින් ඒවා ප්‍රතික්ෂේප කරන මෙන් ද මැදිහත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නීතිඥ අරුණ ලක්සිරි සහ ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශ්ව 13 ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා, ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් නම් කර තිබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වෙනි සංශෝධනය ප්‍රකාරව මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව පෙත්සම්කරුවෝ අධිකරණය ඉදිරියේ අවධාරණය කළහ.

මෙම විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බව ද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස සහ විභාගය අවසානයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.

තවත් කියවන්න:

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සති දෙකකට පෙරාතුව, ඔක්තෝබර් 26 වෙනි සිකුරාදා හදිසියේම අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා ලෙස පත් කළේය.

එහෙත් ජනාධිපතිවරයාගේ පියවර නීති විරෝධී බව පවසමින් රනිල් වික්‍රමසිංහ අගමැති පදවියෙන් ඉවත්ව යාම ප්‍රතික්ෂේප කළේය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් පාර්ලිමේන්තුව යළි කැඳවීම නොවැම්බර් 16 වෙනි දිනට කල් තැබුවේය.

මහින්ද රාජපක්ෂ අගමැති පදවියට ලක්කිරීම මෙන්ම පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමද රට තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි විවේචනයට ලක්විය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ, එම විරෝධය හමුවේ පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වෙනි දින යළි කැඳවන බවට ඔහු විසින්ම ප්‍රකාශයට පත්කරනු ලැබ තිබුණ අතරවාරයේය.