ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ විශේෂ ප්‍රකාශයට පාඨලී චම්පික රණවක ප්‍රතිචාර දක්වයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අමාත්‍ය චම්පික රණවක

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීන්දුව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වේ.

ජනාධිපතිවරයාගේ එකී තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් ඉදිරිපත් කළ පාර්ශ්ව අතර එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ මෙන්ම ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රාජන් හූල් ද වෙති.

ඉරිදා (නොවැ 11) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කළ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව සාධාරණීකරණය කරමින් ඔහු විසින් මූලික කරුණු තුනක් එහිදී පෙන්වා දෙන ලදී.

එම කරුණු අතර:

  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට "මිලක් නියමවීම "
  • කතානායක කරු ජයසූරියගේ "ක්‍රියාකලාපය"
  • පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබූ නොවැම්බර් 14 වෙනිදා "පාර්ලිමේන්තුව තුළ සහ රටපුරා ඇතිවීමට තිබූ ගැටුම්කාරී තත්ත්වය"

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පෙන්වා දෙන ලද ඉහත කී කරුණු සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ "ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය ජනතාව ගොනාට ඇන්දවීමේ අරමුණින් කළ හිස් ප්‍රකාශයක් පමණක්" බවය.

ජනාධිපතිවරයා සඳහන් කළ ඉහත කී මූලික කරුණු සහ ඊට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පළ කළ ප්‍රතිචාරය පහත දැක්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට "මිලක්"

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මිලක් නියම වූ බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය බැහැර කරන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරුන් "වෙන්දේසි කිරීමට කටයුතු කළේ" ජනාධිපතිවරයා ම බවට චෝදනා කරයි.

රුපියල්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශය සිදු කරමින් කියා සිටියේ "විශේෂයෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ තත්ත්වය පසුගිය සතිය වන විට දේශපාලන වශයෙන් මෙන්ම සමාජමය වශයෙන් විනයගරුක සහ සදාචාරාත්මක සහ ශීලාචාර සමාජයක් ගොඩනැගීමේ කාර්යය උරුම වී තිබෙන රටේ උතුම්ම ස්ථානය, ජනතා පරමාධිපත්‍ය පැහැදිලිවන ඉහළම ස්ථානය වන පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ගේ වටිනාකම් රුපියල් මිලියන 100 සිට 150 දක්වා, ඒවගේම ඇතැම්විට සමහර මන්තී‍්‍රවරු මිලියන 500 දක්වා මිල නියම කර පෙන්වන්න පටන් ගත්තා." යනුවෙනි.

"පළමුවෙන්ම මන්ත්‍රීවරු එවැනි ආකාරයට විකුණා දැමීමට වෙන්දේසි කළේ කවුද?, එතුමා විසින්. මන්ත්‍රීවරුන් වෙන්දේසි කිරීමේ වගකීම අනිවාර්යෙන්ම එතුමා භාර ගත යුතුයි," යනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

ඔක්තෝම්බර් 26 වෙනිදා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර ඒ සඳහා මහින්ද රාජපක්ෂ පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් අතර පාර්ලිමේන්තුව තුළ සරල බහුතරය සහතික කර ගැනීම සඳහා මෛත්‍රීපාල - මහින්ද පාර්ශ්වයත් රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පෙරමුණත් අතර දැඩි සටනක් ආරම්භ විය.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන විජේදාස රාජපක්ෂ, වසන්ත සේනානායක, ආනන්ද අලුත්ගමගේ, දුනේෂ් ගන්කන්ද, අශෝක ප්‍රියන්ත, එස්.බී නාවින්න, සුරේෂ් වඩිවේල්, අතුරලියේ රතන හිමි සහ එස් වියලේන්දිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෛත්‍රිපාල - මහින්ද පාර්ශ්වය සඳහා සහාය ලබා දීමට එක්වූහ.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

මෛත්‍රිපාල - මහින්ද පාර්ශ්වය සඳහා සහාය පළ කරමින් කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මනුෂ නානායක්කාර පසුව ඉන් ඉවත් වූ අතර ඔහු රනිල් වික්‍රමසිංහ හමු වී අදහස් පළ කර ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මාධ්‍ය වෙත මුදා හැරිණි.

"මුදලට විකිණී" ඇති බවට දේශපාලන වේදිකාවේ සහ සමාජ මාධ්‍ය ජාල තුළ පළ වූ අදහස් ඉහත කී ජනතා නියෝජිතයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

කතානායකවරයා වෙත එල්ලවන චෝදනා

කතානායක කරු ජයසූරිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොසලකා හරිමින් කතානායක කරු ජයසූරිය හැසිරුණු" බවට ජනාධිපතිවරයා කරන චෝදනා බැහැර කරන හිටපු අමාත්‍ය රණවක පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් කතානායකවරයා කටයුතු කළ බවය.

"පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දෙවන කාරණය ලෙස මුල් වූයේ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ හැසිරීම පුදුමාකාර වීම," යනුවෙන් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේය.

"පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය පිළිබඳව නොසලකමින්, ජනාධිපතිවරයා සතු බලතලවලින් අග‍්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමේදී එය පිළිනොගන්නා ස්වභාවයක් ඇති කරමින් කතානායකවරයා විසින් කරනු ලැබූ ප‍්‍රකාශනයන් සහ ඔහුගේ හැසිරීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මුල් වූ දෙවන කාරණය කියලා මම මෙහි දී සඳහන් කරන්න ඕන."

ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ "කතානායකවරයා මේ රටේ ගෞරවය දිනා ගත් කෙනෙක්. අන්තර්ජාතිකවත් ගෞරවය දිනා ගත් කෙනෙක්. ඔහු ඒ පදවියට පත් කිරීමට යෝජනා කළෙත් ජනාධිපතිතුමයි. ප්‍රජාතන්ත්‍රවාදීව, ව්‍යවස්ථානුකුලව කටයුතු කළේ කතානායකතුමයි. ව්‍යවස්ථාවට එරෙහිවත් ආණ්ඩුක්‍රම සම්ප්‍රදායට එරෙහිවත් ඒ වගේම මානුෂීය ශිෂ්ටත්වයට එරෙහිවත්, ඒ වගේම සදාචාරයට එරෙහිවත් කටයුතු කළේ ජනාධිපතිවරයා. ඔහුටත් ඔහුගේ පක්ෂයටත් ඒ වෙනුවෙන් බලගතු දේශපාලන වන්දියක් ගෙවන්න වේවි," යනුවෙනි.

"ඇත්තටම තමන් ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් තියනවා යැයි කියමින් ඔහු මේ කළ ක්‍රියාවලිය නිසා දේශපාලනිකව ඝාතනයට ලක් වුනේ මෛත්‍රීපාල සිරිසේන මහතායි."

තමන් පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බවට ජනාධිපතිවරයා එල්ල කරන චෝදනා බැහැර කරන කතානායක ධුරයේ කටයුතු කළ කරු ජයසූරිය මන්ත්‍රීවරයා, ඉරිදා (නොවැ 11) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ "විධායකය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයේ යාන්ත්‍රණය වන පාර්ලිමේන්තුව ඕනෑකමින් නොසලකා හැරීම ජනතා නිදහසට සහ අයිතියට බරපතල අවදානමක් වනු ඇති" බවය.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ පවත්නා නීතියට ගරු කරමින් කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමරිකාව ඇතුළු බටහිර ගණනාවක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියහ.

"රට තුළ ගැටුම්කාරී" තත්ත්වයක්

පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබු නොවැම්බර් 14 වෙනි දින ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබුණ බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය බැහැර කරන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක එය හුදෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සාධාරණීකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් පමණක් බව කියා සිටී.

මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ආරක්ෂාව තර කොට තිබුණ අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ආරක්ෂාව තර කොට තිබුණ අයුරු

ජනාධිපතිවරයා සිය ප්‍රකාශය තුළ සඳහන් කර සිටියේ "දෙපාර්ශ්වයේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ ප‍්‍රකාශ නිකුත් වුණා, මාධ්‍ය තුළ විවිධ සාකච්ඡා මගින්. 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී විශාල ගැටුමක් ඇතිවන බවත්, ඇතැම්විට කිහිප දෙනෙකුගේ මරණය පවා සිදුවිය හැකි බවත් ඇතැමුන් ප‍්‍රකාශ කළා. එසේ එම සිද්ධිය සිදුවීමට මම ඉඩ හැරියා නම් 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් කර එම ගැටුම ඔබෙත්, මගෙත් මේ ආදරණීය මාතෘ භූමියේ නගරයක්, ගමක් පාසා ඇතිවන ගැටලූ සහගත තත්ත්වය, විශේෂයෙන්ම රටේ සිවිල් ජනතාව අතර කලබලයක්, බරපතළ තත්ත්වයක් නිර්මාණය වන බව පෙනී ගියා," යනුවෙනි.

ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍ය රණවක "ඇත්තටම ලේ වැගිරීමක් සිද්ධ වුනා. ඒ සිද්ධ වුනේ කොහෙද?, අර්ජුන රණතුංග මහතා තමන්ගේ කාර්යාලයට ගිය අවස්ථාවේ දී පහර දීලා ඔහුව ඝාතනය කිරීමේ උත්සාහයක් ඇති වුනා. එතකොට කවුද ඒක කළේ?. ඒ ලේ වැගිරීමට මං පෑදුවේ කවුද?," යනුවෙන් ප්‍රශ්න ගණනාවක් මතු කළේය.

"කවුද අයිටීඑන්, ජාතික රූපවාහිනියට පැනලා ඒවායේ මැර බලය පවත්වාගෙන ගියේ?. කවුද ඒ අමාත්‍යාංශවල කටයුතුවලට මැදිහත් වෙලා ඒවායේ කටයුතු මැර බලයෙන් වෙනස් කරන්න ලේ වැගිරීම්වලට අවශ්‍ය පසුබිම හැදුවේ?. නමුත් ආණ්ඩුවෙන් අපිව නීතිවිරෝධී ලෙස ඉවත් කරත් එවැනි කිසිම ලේ වැගිරීමකට කටයුතු කරන්නේ නැතිව අවිහිංසාවාදීව කටයුතු කළා," යනුවෙන් චම්පික රණවක වැඩිදුරටත් කියා සිටියේය.