ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: "ඉදිරියට තැබූ පය ආපස්සට ගන්නේ නැහැ" - ජනපති මෛත්‍රීපාල සිරිසේන

ඡායාරූප මූලාශ්‍රය, PMD
අගමැති ධුරය සඳහා නොගැලපෙන දර්ශනයක් ඉවත් කර ඒ සඳහා ගැලපෙන දර්ශනයක් තෝරා ගත් බව ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන සඳුදා (නොවැ 05) පාර්ලිමේන්තු වටරවුමේ පැවති ජන රැළිය අමතමින් පැවසීය.
ඒ පිළිබඳ වැඩිදුරටත් සඳහන් කරමින් "අපට රටට ගැලපෙන, දේශයට ගැලපෙන, දේශීය සංස්කෘතිය හඳුනන, දේශීයත්වය අගය කරන, විදේශීය දේශපාලන න්‍යායන් ප්‍රතික්ෂේප කරන, ඔබේම අපේම සැබෑ මිනිසෙක් වූ මහින්ද රාජපක්ෂ," අග්‍රාමාත්‍ය ධුරයට පත් කර ඇති බව ඔහු කියා සිටියේය.
පැවති වැසි සහිත කාලගුණය මධ්‍යයේ වුවද දහස් සංඛ්‍යාත ජනකායක් මෙම රැළිය සඳහා සහභාගී වූහ.
"මේ මාරු වුනේ රටට අහිතවත්, දේශයට අහිතවත්, අපට නොගැලපෙන, දේශීය සිතුම් පැතුම් හඳුනා නොගත් දේශීයත්වය අගය නොකරන විදේශීය න්‍යායය පත්‍රවලට වැඩකරන දර්ශනයයි."
සිය ඡන්දයෙන් තේරී පත් වූ තමන්ට අගමැති ධුරය සඳහා මහින්ද රාජපක්ෂ පත් කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබුනේ ද යන්න එක්සත් ජාතික පාක්ෂිකයන් තමන්ගෙන් ප්‍රශ්න කරන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
පැවති පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය සහ රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය පිළිබඳ අවධානය යොමු කර, අගමැති පුටුව භාර ගන්නා ලෙස තමන් කතානායක කරු ජයසුරියගෙන් ඉල්ලා සිටි බව ජනාධිපතිවරයා පවසයි.
"මීට මාස අටකට පෙර මම ඇවිටිලි කළා. කරු ජයසුරිය මහත්මයට මම වැන්දෙ නැති ටික විතරයි. තුන්වෙනි දවසේ මට කිව්වා ජනාධිපතිතුමාගේ ඉල්ලීමට මම එකඟ වෙන්නම්. මට හමුවෙන්න පුලුවන්ද කියලා. මම හා කිව්වා,"
තවදුරටත් කියවන්න:
තමන් හමුවීමට තනිවම පැමිණෙන බව කී කතානායක කරු ජයසුරිය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සමග සිය නිල නිවසට පැමිණි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
"ඇවිත් තොල්පට වෙව්ල වෙව්ල කිව්වා අනේ අගමැතිතුමාට මට විරුද්ධ වෙන්න බැහැනේ කියලා."
සිය ව්‍යායාමය එතකින් අවසන් නොකළ බව කී ජනාධිපතිවරයා එහි ඊළඟ පියවර වශයෙන් අගමැති ධුරය භාර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටි බව ද සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, PMD
"කරු ජයසුරිය වගේම සජිත් ප්‍රේමදාසත් කිව්වා මට නායකතුමා එක්ක හැප්පෙන්න බැහැ කියලා. ඒක නිසා මම රටට ගැලපෙන නායකයෙක් හොයන්න කටයුතු කළා."
"කරු ජයසුරිය බැහැ කිව්වා අගමැතිකම, සජිත් ප්‍රේමදාස බැහැ කිව්වා අගමැතිකම. රනිල් පෙරලගෙන යන්න කැමති මහින්ද රාජපක්ෂ මම අගමැති ධුරයට පත් කළා," යනුවෙන් ඔහු පැවසීය.
නීතිඥයන්, විශාරදයන්ගේ උපදෙස් අනුව ව්‍යවස්ථානුකුලව මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කළ බව ඔහු කියා සිටියේය.
ඒ සම්බන්ධයෙන් යම් කිසි නීතිමය ගැටලුවක් පවතින්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතිය හැකි බව කී ජනාධිපතිවරයා, "පාර්ලිමේන්තුවේ 113 හදල ඉවරයි," යනුවෙන් සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, PMD
ජනතාවගේ හෘද සාක්ෂිය තේරුම් ගෙන කටයුතු කරන මෙන් ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටි අතර උතුරේ ගැටලු විසඳීමට තමන් අගමැති රාජපක්ෂ සමග එක්ව කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය.
ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා සිය උපරිම සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා තමන් වෙත පැවසු බව ද ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම අසල්වැසි ඉන්දියාව තමන් සමග අමනාප කිරීම සඳහා "රනිල් කණ්ඩායම" අසත්‍ය ප්‍රචාර ගෙන යන බවට ද ඔහු චෝදනා කළේය.
කුමන ආකාරයේ තර්ජන පැමිණිය ද තමන් ඉදිරියට තැබූ පය ආපස්සට නොගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේවෙතත්, කතානායක කරු ජයසුරිය අද (නොවැ 05) නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා වාචිකව දෙන ලද පොරොන්දුව අනුව යමින් නොවැම්බර් 07 වනදා පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කිරීම සිය යුතුකම වන අතර ඊට සහය වීම ජනාධිපතිවරයාගේ යුතුකම ලෙස ද හඟින බව ය.
වෙනස්වීම්වලට පෙර පාර්ලිමේන්තුවේ පැවති තත්ත්වය පිළිගන්නා ලෙස බහුතරය ඉල්ලා ඇති බැවින් ඔවුනට මෙන්ම නව පාර්ශවයට ද හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවති තත්ත්වය පිළිගැනීමට තමන්ට සිදුවන බව ද කතානාකවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.










