ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: කතානායක ප්‍රකාශය නොසලකා දිනේෂ් සභානායක ධුරයේ වැඩ අරඹයි

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සභානායක කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරයි

ඡායාරූප මූලාශ්‍රය, Dinesh Gunawardena/Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සභානායක කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතී.

"පාර්ලිමේන්තුවේ බහුතර පෙන්වන තුරු පිළිගැනීමට සිදුවන්නේ පෙර පැවති තත්ත්වය," බවට කතානායක කරු ජයසුරිය සඳුදා (නොවැ 05) ප්‍රකාශ කළ ද, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඉන් සුළු මොහොතකට පසු සභානායක ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

බහුතරය ලබා ගැනීම සඳහා අවශ්‍ය මන්ත්‍රී ධුර සංඛ්‍යාව තහවුරු කර ගනු වස් කල් ලබා ගැනීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුව රැස්වීම කල් තබා ඇති බවට චෝදනා එල්ල වේ.

තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කරන ලද බව ජනාධිපතිවරයා විසින් නිවේදනය කරනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් 26 වන දාය.

පසුව එම ධුරය සඳහා 2015 ජනාධිපතිවරණයේ සිය ප්‍රතිවාදියා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

එකී ක්‍රියාදාමය ව්‍යවස්ථා විරෝධී බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනෙකුගේ ඒකාබද්ධ යෝජනාවක් පසුගිය සිකුරාදා (නොවැ. 02) කතානායකවරයා වෙත භාර දෙනු ලැබිණි.

පාර්ලිමේන්තුව වහා කැඳවිය යුතු බව ඉහත කී මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇති අතර නොවැම්බර් 14 වන දා පාර්ලිමේන්තුව කැඳවන බව දැක්වෙන ගැසට් නිවේදනය ඉරිදා (නොවැ. 04) ප්‍රකාශයට පත් විය.

Dinesh Gunawardena

පසුගිය 26 වන දා සිට මේ දක්වා එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 දෙනෙකු මෛත්‍රී - මහින්ද පාර්ශ්වය සමග එක් වී තිබේ.

විජේදාස රාජපක්ෂ, වසන්ත සේනානායක, ආනන්ද අලුත්ගමගේ, දුනේෂ් ගන්කන්ද, අශෝක ප්‍රියන්ත, එස්.බී නාවින්න, සුරේෂ් වඩිවේල්, අතුරලියේ රතන හිමි සහ එස් වියලේන්දිරන් යන පාර්ලිමේන්තු සාමාජිකයෝ ඒ අතර වෙති.

ප්‍රතිවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිකම් සහ මුදල් ලබා දෙමින් ඔවුන්ගේ සහාය ලබා ගැනීම සඳහා මෛත්‍රී - මහින්ද පාර්ශ්වය කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ල වේ.

ඇමති ධුර ලබා ගත් මහජන නියෝජිතයන් ඇතුළු මෛත්‍රී - මහින්ද පාර්ශ්වය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මේ පුවත් කියවන්න:

සඳුදා (05) උදෑසන පැවති තත්ත්වය අනුව පාර්ලිමේන්තුව තුළ අවම බහුතරය වන 113 සම්පුර්ණ කර ගැනීම සඳහා මෛත්‍රී - මහින්ද පාර්ශ්වයට තවත් මන්ත්‍රී ධුර 08 ක් අවශ්‍යව තිබේ.

BBC

ඒ ඒ පක්ෂ සඳහා සහාය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව (නොවැ. 5 වෙනි සඳුදා උදෑසන වන විට)

  • එක්සත් ජනතා නිදහස් සන්ධානය - 105
  • එක්සත් ජාතික පක්ෂය - 97
  • දෙමළ ජාතික සන්ධානය - 15
  • ජනතා විමුක්ති පෙරමුණ - 06
  • ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 01
  • කතානායක - 01

මේ අතර, මේජර් අජිත් ප්‍රසන්නට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් හේෂාන් විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොලිසියටයට භාර වූ අතර පසුව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.