ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්න - නීතිපති

ශ්‍රේෂ්ඨාධිකරණය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපති ජයන්ත ජයසූරිය එසේ ඉල්ලා සිටියේ, අදාළ පෙත්සම් අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අඟහරුවාදා (නොවැ 13) යළි විභාගයට ගත් අවස්ථාවේදීය.

නීතිපතිවරයා සිය දේශනය ඉදිරිපත් කරමින් සඳහන් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබ ඇතැයි නිවේදනය කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 33 වන වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදනවලට පරිබාහිරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අමතර බලයක් එම වගන්තිය තුළින් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බව ද නීතිපතිවරයා සඳහන් කළේය.

මේ හේතුවෙන් අදාළ විසුරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකූලව සිදු වී ඇති බව නීතිපතිවරයා පැවසීය.

පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කර තිබේ.

BBC

මේ අතර, බීබීසී සිංහල සේවය සමග සජීවී සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ප්‍රකාශ කළේ, නීතිපතිවරයා අධිකරණය හමුවේ එලෙස කරුණු දැක්වුව ද, විනිසුරු මඩුල්ල නිවැරදි තීන්දුවක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම අභියෝගයට ලක්කරමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය , නීතිඥ අරුණ ලක්සිරි සහ ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13 ක් පෙත්සම් ඉදිරිපත් කර කළහ.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් නම් කර තිබේ.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

පෙත්සම්කරුවන් සඳහන් කර සිටින්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ප්‍රකාරව වසර හතර හමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවය.

මෙම විසුරුවා හැරීම ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බව ද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් විභාගය අවසන් කර තීන්දුවක් ලබා දෙන තෙක් මහ මැතිවරණය සඳහා අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.