කුරුළු රුවකට 'පෙම් බැඳ දිවි දුන්' මුහුදු කුරුල්ලෙක්

ඡායාරූප මූලාශ්‍රය, FRIENDS OF MANA ISLAND
නවසීලන්තයේ ජනශූන්‍ය දූපතක පිහිටි පර්වත ඇළයක 'සහකාරියක් නොමැතිව' හුදෙකලාව දිවිගෙවූ නයිජල් නම් ගැනෙට් මුහුදු පක්ෂියා සිමෙන්තියෙන් තැනූ ව්‍යාජ පක්ෂීන් අතර මියගොස් සිටියදී හමුවූ පුවතක් වාර්තාවේ.
මානා නම් එම දූපතේ වසර පහක් තිස්සේ ජීවත්වූ නයිජල්, දූපත වටා ස්ථානගත කළ ව්‍යාජ අනුරූ 80ක් පමණ සැබෑ පක්ෂීන් ලෙස සිතා ඒ අතර කල් ගෙවූ බව විශ්වාස කෙරේ.
නයිජල්ගේ සිරුර පසුගිය සතියේ සොයාගත් පරිසර සංරක්ෂකයෙකු වන ක්‍රිස් බෙල් පවසන්නේ එය පසුකර යෑම 'අතිශයින් කනගාටුදායක' වූ බවය.
"ඒක හරියට කතාවක නිවැරදි නොවන අවසානයක් වගේ," ක්‍රිස් බෙල් සඳහන් කළේය.
නයිජල්ගේ සිරුර හමු වී තිබෙන්නේ නිශ්චල සිමෙන්ති සහකාරියකට පසෙකිනි. එය නවසීලන්ත උතුරු දූපතට බටහිරෙන් පිහිටා ඇති මානා දූපතේ ආකර්ශණය දිනාගැනීම සඳහා නිර්මාණය කළ අනුරූවලින් එකකි.
වසර ගණනාවක් පුරා නයිජල් පාරිසරික ස්වේච්ඡා සේවකයන්ගේ නිරීක්ෂණයට ලක්විය. 2013 දී මුහුදු පැලෑටි හා ඉති කැබළි යොදා පර්වත ඇළයක ප්‍රවේශමෙන්, එහෙත් පැහැදිළිව පෙනෙන ලෙස ආරාධනාත්මක ස්වරූපයෙන් කූඩුවක් තනනු දැකීමෙන්, එම පක්ෂියා තම හදවතේ තැන්පත්වූ බව ඔවුන් පැවසූහ.
මානා දූපත් සංරක්ෂණ මිතුරු හවුල ඔවුන්ගේ ෆේස්බුක් සටහනක මේ පක්ෂියා විස්තර කරන්නේ සිය සාමාජිකයන්ගේ සහ මානා දූපත් සංචාරකයන්ගේ "හදවත් දිනූ" නයිජල් යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, FRIENDS OF MANA ISLAND
"'සහකාරියක් නැති' නයිජල් සාමදානයේ සැතපේවා" යනුවෙන් සටහනක් ද සමගින් මිය ගිය පක්ෂියා වෙනුවෙන් පැදි පෙළක් ද ඔවුන් පළ කර ඇත.
"නත්තල් පුදුමයක්" මෙන් මෑතකදී තවත් ගැනෙට් පක්ෂීන් තිදෙනෙක් එහි වාසයට පැමිණි බව එම පරිසර සංරක්ෂණ කණ්ඩායම පවසයි.
මෑතකදී පැමිණි ගැනෙට් පක්ෂීන් සමග නයිජල් ගේ ආදර සබඳතාව "ප්‍රතිඵල රහිත" වියහැකි බව ක්‍රිස් බෙල් ප්‍රකාශ කළේයැයි ගාඩියන් පුවත්පත වාර්තා කරයි.
"තනිකම ඔහුට දැනුනත් නැතත්, ඔහුට කිසිවක් නැවත හමුවුනේ නැහැ... ඒක වෙනස් අමුතු අත්දැකීමක් වුනා වියයුතුයි," ඔහු පැවසීය.
"ඔහුගේ මේ තරමක බලාපොරොත්තු රහිත ජීවිතය නිසා, ඔහු පිළිබඳව සහකම්පාවක් අපි හැමෝම තුල තියෙනවා කියල මට හිතෙනවා."
ජැනෙට් පක්ෂීන් අලුතෙන් පැමිණියත්, නයිජල් තමන්ගේ සිමෙන්ති පෙම්වතියන්ගෙන් වෙන් නොවීය. ඔහුගේ එම කැපවීම ඔහු මියගොස් තිබුනු ආකාරයෙනුත් තහවුරු කර තිබිණ.
ආකර්ශනීය සත්ත්ව ලෝකයෙන්:








