වයස්ගතම ගෝරිල්ලන් අතර සිටි 'විලා' සමුගනී

නොමද ආදරය දිනූ 'විලා'

ඡායාරූප මූලාශ්‍රය, SAN DIEGO SAFARI PARK/ FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, නොමද ආදරය දිනූ 'විලා'

ලොව වයසින් වැඩිම ගොරිල්ලන් අතර සිටි එක් ගෝරිල්ලෙකු මිය ගොස් තිබේ.

'විලා' නමැති ගෝරිල්ලා මිය යන විට හැට වෙනි වියේ පසු විය.

1957 වසරේ දී කොංගෝවේ උපත ලද 'විලා' ඇයගේ පවුලේ සාමාජිකයන් අතර සිටියදී මියගිය බව සැන් දියේගෝ සෆාරි උද්‍යානය සිකුරාදා (ජනවාරි 26) නිවේදනය කළේය.

ඇය පරම්පරා පහකට "මාතෘ මූලිකයා" වූ බව සෆාරි උද්‍යාන බලධාරීහු පවසති.

"මීට ආසන්න වයස්වල පසුවන ගෝරිල්ලන් ඉතා සුළු ප්‍රමාණයකුයි සිටින්නේ" යනුවෙන් කැලිෆෝනියාවේ පිහිටි සෆාරි උද්‍යානයේ ප්‍රධාන සත්ව පාලිකාවක වන පෙගි සෙක්ස්ටන් පැවසුවාය.

සාමාන්‍යයෙන් ගෝරිල්ලෙකු අවුරුදු 35-40 අතර කාලයක් ජීවත් වේ.

"උද්‍යානයේ සාමාජිකයන්ට, නරඹන්නට, ස්වේච්ඡා සහ කාර්ය මණ්ඩලයේ සේවකයන්ට ඇයගේ අඩුව දැනේවි" යනුවෙන් සෆාරි උද්‍යානයේ ක්ෂීරපායී සත්ව අංශය භාර රැන්ඩි රිචස් කියා සිටි.

පරම්පරා පහක පවුලේ මූලිකයා

ඡායාරූප මූලාශ්‍රය, SAN DIEGO ZOO SAFARI PARK/ FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, පරම්පරා පහක පවුලේ මූලිකයා

දැනට මිනිස් ඇසුරේ ජීවත්වන වයස්ගතම ගෝරිල්ලා වන ටෘඩිගේ වයස අවුරුදු 61 යයි සැලකේ. ඇය ආකන්සෝහි 'ලිට්ල් රොක්' සත්වොද්‍යානයේ වාසය කරන්නීය.

විලා මෙන්ම, ඇයද වනයෙන් අල්ලා ගන්නා ලද ගෝරිල්ලෙකි.

ගෝරිල්ලන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී සිටින සත්ව කොට්ඨාසයකි. නීති විරෝධී ලෙස සිදු කරනු ලබන සත්ව වෙළඳාමට ද ඔවුහු ගොදුරුව සිටිති.

ගෝරිල්ලන් වනයෙන් අල්ලාගෙන සත්වෝද්‍යාන තුළ රඳවා තැබීම සම්බන්ධයෙන් පරිසරවේදීන් සන සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල විරෝධය එල්ල වේ.

2016 වසරේදී ඇමරිකාවේ 'සින්සිනාති' සත්වෝද්‍යානයේ කාර්යමණ්ඩලය විසින් ගෝරිල්ලකුට වෙඩිතබා මරා දමනු ලැබුවේ ගෝරිල්ලා රඳවා තබන ලද කුටියට වැටුණු දරුවෙකුගේ දිවි බේරා ගැනීම සඳහාය.

එම සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂකවරයා එවක පැවසුවේ වයස අවුරුදු හතරක් පමණ වූ දරුවා ගේට්ටුව අතරින් රිංගා 'හරම්බේ' නමැති ගෝරිල්ලා සිටි කුටිය සහිත පෙදෙසට ඇතුල්වී සිටි බවය.

කෙසේ නමුත් ගෝරිල්ලා මරා දැමීම සම්බන්ධයෙන් සමාජ ජාල තුළ දැඩි විරෝධයක් එල්ල වූ අතර එම ක්‍රියාව සත්ව ලෝලීන්ගේ දැඩි විවේචනයට ලක් විය.

වීඩියෝ ශීර්ෂ වැකිය, ගෝරිල්ලා මරා ළමයෙකු රැකගනී

තවත් තොරතුරු: