"අපි බාර ගත්තේ ලෙඩා මැරෙන්න යන බව දැන ගෙනයි"
පසුගිය වසර දෙකක කාලසීමාව තුළ වත්මන් ආණ්ඩුව ආර්ථිකය සම්බන්ධයෙන් අත්කර ගත් ප්‍රගතිය ගැන වාර්තාවක් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අද (ඔක් 30) එළිදක්වන ලදී.
ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකදීය.
එම වාර්තාව අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව විසින් ජනතාවට ලබා දෙනු ලැබූ ජයග්‍රහණ ලෙස කරුණු 06 ක් දක්වා තිබේ.
- නව රැකියා අවස්ථා ලක්ෂ 4ක් බිහි කිරීම
- නව නිවාස 200,000 ට වඩා ඉදි කර පවුල් දෙලක්ෂයකට තමන්ගේම නිවසක ජීවත්වීමේ නිදහස තහවුරු කිරිම
- ඉන්ධන මිල 22% අඩු කිරීම
- ගැබිනි මව්වරුන්ට රුපියල් 20,000 ක් දීමනාවක් ලබා දීම
- බරපතළ අපරාධ 3ට 1ක් දක්වා අඩු කිරීමට සමත් වීම
- රාජ්‍යය සේවක වැටුප් රුපියල් 10,000 වැඩි කිරීම

ඡායාරූප මූලාශ්‍රය, Manthri.lk
ප්‍රගති වාර්තාව එළි දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ රට තුළ ආර්ථික ස්ථාවර භාවයක් ඇති කිරීමට පසුගිය වසර තුළ හැකි වූ බවය.
"අපි බාර ගත්තේ ලෙඩා මැරෙන්න යන බව දැන ගෙන ඕගොල්ලොන්ට නොකිව්වට. අපි දැන් ඒ ආර්ථිකය බේරාගෙන ස්ථාවර කරලා තියෙනවා"
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නියමිත කාලයට වඩා වසර දෙකකට පෙර ජනාධිපතිවරණයකට ගියේ ආර්ථිකය කඩා වැටෙන බව දැන සිටි නිසා බවත් අගමැතිවරයා සඳහන් කළේය.
ආණ්ඩුව තම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වූ වැඩසටහන් සියල්ල ආරම්භ කර ඇති බව පැවසූ අගමැති රනිල් වික්‍රමසිංහ තවත් කරන්නට බොහෝ දේ ඇති බව පිළිගත්තේය.
"සමහර ඒවා වේගයෙන් කරලා තියෙනවා. අනිත් ඒවා වේගයෙන් කරලා නැහැ, තවත් හුඟක් වැඩකටයුතු තියෙනවා කරන්න. නැහැ කියන්නේ නැහැ, මොකද ස්ථාවරභාවය ඇති කෙරුවේ නැත්නම් මුළු ජාතික ආණ්ඩුවම වැටෙනවා"
කළ සහ කළ හැකි වැඩ ගැන ආණ්ඩු ස්වයං විවේචනයක් සිදු කරමින් යන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර මෙම ප්‍රගති වාර්තාව ගැන නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය කියා සිටියේ "මේ ළඟා කරගත් යහපත් ප්‍රගතිය ඉදිරියට රැගෙන යා හැකි වන්නේ, එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික සැලැස්ම සමග එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ කොටස්කරුවන් ලෙස සිටීමෙන්" පමණක් බවය.
වත්මන් ආණ්ඩුව, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් ලෙස පවත්වාගෙන යන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබාදේ.
සබැඳි යොමු:












