විධායක ජනපති සහ ව්‍යවස්ථාව: "නැවත ආවොත් මෛත‍්‍රී පරාජය කරනවා"

ඡායාරූප මූලාශ්‍රය, AFP
ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව අවධාරණය කරන ජනතා විමුක්ති පෙරමුණ, කිසියම් ලෙසකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යළිත් වතාවක් ජනපතිවරණයකට තරග කළහොත් ඔහු "පරාජය කරන" බවට ද සපථ කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඒ බව කියා සිටියේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමිනි.
"විධායක ජනාධිපතිධුරය අහෝසි කරන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් තමයි 2015 ජනවරම ලැබුණේ. එම මැතිවරණ පොරොන්දුව ඉටුකිරීම ජනාධිපතිවරයාගේත් ආණ්ඩුවෙත් වගකීමයි," මන්ත්‍රීවරයා සඳහන් කළේය.
1978 දී ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලනය යටතේ විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන් අවස්ථාවේ සිටම ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එම ව්‍යවස්ථාව දැඩි විවේචනයට ලක් කළේය.
විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය එම පක්ෂවල දැඩි විවේචනයට ලක් විය.

ඡායාරූප මූලාශ්‍රය, JVP Media
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන් බලයට පත්වූයේ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙමිනි.
2015 ජනවාරි ජනපතිවරණයේ දී එවක විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන ද එම ප්‍රතිඥාවම දුන් අතර, යළිත් වරක් ජනපතිවරණයකට ඉදිරිපත් නොවන බව ජනපති පදවියේ දිවුරුම් දෙන අවස්ථාවේ ඔහු ප්‍රතිඥා දුන්නේය.
කෙසේ වුවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බව වත්මන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී තිබේ.
අදාළ අතුරු වාර්තාව නව ව්‍යවස්ථා කෙටුම්පත නොවන බව අවධාරණය කරන විජිත හේරත් මන්ත්‍රීවරයා එහි දැක්වෙන්නේ පරස්පර අදහස් බව ද පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුවේ නියෝජනය වන පක්ෂ සහ මන්ත්‍රීවරුන් වෙන වෙනම ඉදිරිපත් කළ නිර්දේශ ද එම අතුරු වාර්තාවට ඇතුළත් වේ.
1978 ව්‍යවස්ථාව සම්පාදනය කළ එක්සත් ජාතික පක්ෂය වර්තමානයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටීම ද විශේෂත්වයකි.

ඡායාරූප මූලාශ්‍රය, AFP/getty images
"විධායක ජනාධිපතිධුරය සහිතව නව ව්‍යවස්ථාවක් හදන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා, නැවත ජනාධිපතිවරණයක් නැහැ කියලා. සෝභිත හාමුදුරුවන්ගේ අවසන් කටයුතු වෙලාවේ ඒ බව නැවත සහතික කළා," විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසීය.
එබැවින් ශී‍්‍රලනිපයේ මතය කවරක් වුවත් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාට "සදාචාර අයිතියක් නැති," බව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරයය.
"ඒ නිසා මේ වෙලාවේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තමන්ගේ මතය රටට ඉදිරිපත් කළ යුතුයි. ජනාධිපතිවරණයේදී ජනතාවට දුන්නු පොරොන්දුව ඉටුකළ යුතුයි. ඒ වගේම අපි ඉතාම පැහැදිලිව කියනවා, පොරොන්දු කඩලා මෛතී‍්‍ර නැවත ජනාධිපතිවරණයකට ආවොත් රාජපක්‍ෂ පැරැද්දුවා වගේම මෛතී‍්‍රපාල සිරිසේනත් පරද්දන්න ජවිපෙ කටයුතු කරනවා."
මේ අතර පසුගියදා ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමග සජීව සාකච්ඡාවකට සහභාගි වූ ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා කියා සිටියේ සිය පක්ෂයේ මතය කවරක් වුවත් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම පිණිස පක්ෂය එකඟ කරගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවය.
රට බෙදීමේ ප්‍රයත්නයක් දැරෙන මොහොතක රට එයින් ආරක්ෂා කරගැනීමට වර්තමානයේ විධායක ජනාධිපතිවරයාට බලයක් පැවරී නැති බවත් ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අතුරු වාර්තාව මගින් "රට කඩන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළ" බවට එල්ලවන චෝදනා පිළිබඳව ද එහිදී ප්‍රතිචාරය පළ කළ මන්ත්‍රීවරයා, ඉන්දීය මැදිහත්වීම අවස්ථාවේ "ජීවිත 60,000 ක් පරිත්‍යාග කළ" ජනතා විමුක්ති පෙරමුණ රට බෙදීමේ කිසිදු ප්‍රයත්නයකට අනුබල නොදෙන බව අවධාරණය කළේය.
"උතුරු නැගෙනහිර එක පළාතක් බවට ගැසට්කර තිබුණු අතර මහින්ද රාජපක්‍ෂ මහත්තයා ජනාධිපතිධුරයට පත්වීමෙන් පස්සේ 2005 නොවැම්බර් 23 ඔහුගේ පළමු ගැසට් නිවේදනය වුණේ උතුරු නැගෙනහිර තවදුරටත් ඒකාබද්ධ කරමින් ගැසට් නිවේදනය දීර්ඝ කිරීමයි. අද මේ ගිරිය පුප්පගෙන කෑගහන අය ඒවා හිතාමතාම අමතක කරනවා," ඔහු පැවසීය.
ඒ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් උතුරු නැගෙනහිර වෙන් කළ යුතු බවට "ඓතිහාසික තීන්දුවක්" ලබා ගත්තේ සිය පක්ෂය බව විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
"එහෙම කරපු ජවිපෙ නැවතත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න දෙන්නේ නැහැ. නැගෙනහිර සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ ප‍්‍රතිශතය සමානයි. එවැනි තත්ත්වයක් තුළ මුස්ලිම් ජනතාව තම පළාත උතුරට ඈඳන්න එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා සමහරු කියන විදිහට උතුරු නැගෙනහිර ඒකාබද්ධ වෙන්නේ නැහැ."
තනි පුද්ගලයෙකුට විධායක බලතල හිමිවන ආකාරයට ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබඳව සිය පක්ෂය තරයේ විරුද්ධ අතර, අගමැතිවරයා තෝරා පත්කර ගැනීම පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ගේ ඡන්දයෙන් සිදුවිය යුතුය යන්න ජවිපෙ ස්ථාවරය බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
- ශ්‍රී ලංකාවේ "ඉතා දුර්වල" ව්‍යවස්ථාව සහ මුස්ලිම් ළමා විවාහ
- ව්‍යවස්ථාව සහ බුදු දහම: "ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්"
- "ඓතිහාසික මොහොතක්, ජනපති ක්‍රමය ගැන එකඟත්වයක් නෑ"
- විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි - ජනපති
- විධායක ජනපති: 'ජනපතිට සදාචාරාත්මක අයිතියක් නෑ'
- විධායක ජනපති ක්‍රමය ඕනෑද, එපාද?
- "විසඳුමක් සොයා නොගත්තොත් දෙමළ ජනතාව තවදුරටත් රට හැර යාවි"








