ව්‍යවස්ථාව: "ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොවේ; අනාගමික රාජ්‍යයක්"

"අනාගමික ව්‍යවස්ථාවක්"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබඳව පත්කරන ලද අණු කමිටු හතක වාර්තා ද ඇසුරු කරගනිමින් මෙහෙයුම් කමිටුව විසින් සම්පාදනය කරන ලද අතුරු වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය සැප්තැම්බර් 21 වෙනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කළේය.

එම අතුරු වාර්තාවේ දැක්වෙන පරිදි, අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ තවත් මැති, ඇමතිවරුන් 20 දෙනෙකුගේ සාමාජිකත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුව විසින් ශ්‍රී ලංකාවේ ඒකීය භාවය, පරමාධිපත්‍යය, බලය බෙදා හැරීම, බුදු දහමට හිමි ස්ථානය, මැතිවරණ ක්‍රමය, විධායකය සහ අධිකරණ ක්‍රමය පිළිබඳව දීර්ඝ වශයෙන් යෝජනා ඉදිරිපත් කර තිබේ.

මෙහෙයුම් කමිටුවේ ඒකාබද්ධ යෝජනා මාලාව හැරුණුවිට එක් එක් පක්ෂ විසින් වෙන වෙනම ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ ද එම යෝජනා මාලාවට ඇතුළත් වේ.

බොහෝ කරුණු සම්බන්ධයෙන් මූලික එකඟතාවක් පවතින නමුත් විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව ප්‍රධාන පක්ෂ දෙක තවමත් අවසාන එකඟත්වයකට එළඹ නොමැති බව අතුරු වාර්තාව සභාගත කරමින් අදහස් දැක්වූ අගමැතිවරයා පෙන්වා දුන්නේය.

වීඩියෝ ශීර්ෂ වැකිය, නව ව්‍යවස්ථාව, සමාජ ජාල සහ ව්‍යාජ පුවත්

මේ අතර ලන්ඩන් නුවර සංචාරයක් අතරවාරයේ ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමග සජීව ලෙසින් අදහස් දැක්වූ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙකු වන එක්සත් වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න අවධාරණය කළේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිණිස මේ අවස්ථාවේ පවතින "දේශපාලන ග්‍රහචාරය යළිත් නොඑනු" ඇති බවය.

ෆේස්බුක් අඩවිය ඔස්සේ දිනේෂ් ද අල්විස් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න, නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් පවතින බව පිළිගත්තේය.

එබැවින් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම පිණිස චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග ජනාධිපතිනියගේ පාලනය සමයේ මංගල සමරවීර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරුණු "සුදු නෙළුම" සහ "තවලම" වැනි ප්‍රචාරක ව්‍යාපාරයක අවශ්‍යතාව පෙන්වාදෙන ඔහු, තරුණ පරපුරෙන් විශේෂ ඉල්ලීමක් ද කළේය.

විධායකයේ සහ ජනාධිපතිවරයාගේ කාර්ය භාරය නිර්වචනය කිරීමේ සම්බන්ධයෙන් තවදුරටත් නිරාකරණය කර ගත යුතු ක්ෂේත්‍ර පවතිනවා - අගමැති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"ෆේස්බුක් එකේ තියෙන කමෙන්ට්ස් වලින් විතරක් දැනුවත් වෙන්නේ නැතුව පුළුවන් නම් ටිකක් කාලය හොයාගෙන ඒ වාර්තාව කියවන්න. ඒක අපේ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තියෙනවා."

ඇතැම් "උගත් පුද්ගලයන් පවා" ඇතැම්විට නොදනුවත්ව සහ ඇතැම්විට සිතා මතාම ව්‍යාජ අදහස් පතුරවමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

නව ව්‍යවස්ථා කෙටුම්පත වෙනුවෙන් ජනමත විචාරණයක් මාර්ගයෙන් ජනතාවගේ අනුමැතිය ලබාගෙන එය "සුජාත ව්‍යවස්ථාවක්" බවට පත් කළ යුතු බව ව්‍යවස්ථා විශාරදයා අවධාරණය කරයි.

"ජනතාවට හොරෙන් ව්‍යවස්ථා හදල වැඩක් නෑනේ. ඇයි ජනමත විචාරණයකට බයවෙන්නේ අපි?"

1978 දී ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේ පටන් එයට දැඩි විරෝධය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය රැකගැනීමට ඉදිරිපත්වීම පිළිබඳව විමසූ අවස්ථාවේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සඳහන් කළේ, ශ්‍රීලනිපය 2015 ජනවාරි 08 වෙනසට සම්බන්ධ වූ පක්ෂයක් නොවන බවය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පක්ෂය එවැනි ස්ථාවරයක් දරන නමුත්, ජනපතිවරණයේදී ප්‍රතිඥා දුන් ප්‍රකාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් දිගටම පෙනී සිටින්නේය යන්න සිය විශ්වාසය බව ද ඔහු සඳහන් කළේය.

සිය පක්ෂය ද තම ස්ථාවරය වෙත ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කරයි.

"ෆෙඩරල්" යන වචනය පිළිබඳව දකුණේ ජනතාව බියක් දක්වන අතරම, "ඒකීය" යන වචනය කෙරෙහි උතුරේ ජනතාව බියක් දක්වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හමුවේ අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළ බව මෙහෙයුම් කමිටුව ඉදිරිපත් කළ අතුරු වාර්තාවේ දැක්වේ.

උතුරේ ජනතාව එවැනි බියක් දක්වන්නේ නම් "ඒකීය" යන වචනය අතුරු වාර්තාවට ඇතුළත් කළේ මන්දැයි විමසූ අවස්ථාවේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කියා සිටියේ, එය සත්‍යයක් වුවත් එවැනි වචන "අත්තනෝමතික ලෙසින්" භාවිත නොකළ යුතුය යන්න නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මහජන අදහස් විමසූ විට පෙනී ගිය බවය.

ව්‍යවස්ථාව

ශ්‍රී ලංකා රාජ්‍යය බුදු දහම ආරාක්ෂා කරමින් පෝෂණය කළ යුතු බව සඳහන් 1978 ව්‍යවස්ථාවේ 09 වෙනි වගන්තිය සංශෝධනය කිරීමේ කිසිම සූදානමක් නොමැති බව අවධාරණය කරන ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශේෂඥයා, කෙසේ වුවත් ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා දෙකකදීම තීන්දු කර තුබෙන් බව පෙන්වා දුන්නේය.

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ගේ ප්‍රධානතත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් සහ විනිසුරු රාජා ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් ඒ බව තීන්දු කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් සමාජය තුළ තවමත් ක්‍රියාත්මක වන ළමා විවාහ පිළිබඳව බීබීසී සිංහල සේවය පසුගියදා විශේෂ ගවේෂණයක් පැවැත්විය.

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සිය ප්‍රජාව තුළ ළමා විවාහවලට රුකුල් දෙන බව එහිදී පෙන්වාදුන් මුස්ලිම් ක්‍රියාකාරිනියෝ, විශේෂයෙන්ම එවැනි නීති සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ පවතින 16.1 වගන්තිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.

වීඩියෝ ශීර්ෂ වැකිය, ළමා විවාහයක්, මුස්ලිම් ක්‍රියාකාරිනියෝ සහ තව්හීඩ් ජමාආත්

ඔවුන්ගේ එම අදහස් තමන් ද අනුමත කරන අතර, මූලික අයිතිවාසිකම් යටතේ මුස්ලිම් විවාහ නීතිය ඇතුළු පුද්ගලික නීති සංශෝධනය කළ යුතු ද යන්න පිළිබඳව තවමත් සාකච්ඡා කෙරෙමින් පවතින බව ව්‍යවස්ථා කටයුතු සම්බන්ධ විශාරදයා කියා සිටියේය.

මේ අතර කාන්තා හිමිකම් සම්බන්ධයෙන් ද මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ දැක්වෙන්නේ නිසි කාන්තා නියෝජනයක් "විශේෂිත ප්‍රතිපාදන ඇතුළත් කළ යුතු" බවට නිර්දේශයක් පමණි.

කෙසේ වුවත් අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළාත් සභාවල පවා කාන්තා නියෝජනය ඉහළ දැමීම පිණිස පියවර ගත් බව පෙන්වාදෙන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා නුදුරු අනාගතයේදීම පියවර ගැනීමට හැකි වෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.

අතුරු කමිටුවේ යෝජනා