මුස්ලිම් විවාහ නීතිය "නවීකරණය විය යුතුයි"

තානාපතිවරයා මඩකලපුවේදී මුස්ලිම් සිවිල් සමාජ නියෝජිතයන් හමු වූ අවස්ථාව

ඡායාරූප මූලාශ්‍රය, US EMBASSY/ COL.OMBO

ඡායාරූප ශීර්ෂ වැකිය, තානාපතිවරයා මඩකලපුවේදී මුස්ලිම් සිවිල් සමාජ නියෝජිතයන් හමු වූ අවස්ථාව

1951 දී සම්මත කරගන්නා ලද ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය නවීකරණය විය යුතු බව මුස්ලිම් ප්‍රජා නායකයෝ පවසති.

මඩකලපුවේ මුස්ලිම් ප්‍රජා නියෝජිතයන් ඒ බව සඳහන් කළේ කොළඹ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් මඩකලපුවේ දී හමු වූ අවස්ථාවේ දීය.

එක්සත් ජනපද තානාපති කාර්යාලය පසුගියදා මඩකලපුවේදී පළමු වරට ඉෆ්තාර් උත්සවය සැමරූ අතර, එහිදී තානාපතිවරයා මුස්ලිම් ප්‍රජා නායකයන් ද මුණගැසිණ.

මඩකලපුව ශ්‍රී ලංකාවේ යුද ගැටුම් අවසන් වීමෙන් අනතුරුව බිම් බෝම්බවලින් තොර පළමු දිස්ත්‍රික්කය බවට පත්විය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය වීමේ අවශ්‍යතාවය මුස්ලිම් ක්‍රියාකාරිනියෝ කලක් මුළුල්ලේම ඉල්ලා සිටිති.

වීඩියෝ ශීර්ෂ වැකිය, ළමා විවාහයක්, මුස්ලිම් ක්‍රියාකාරිනියෝ සහ තව්හීඩ් ජමාආත්

ඔවුන්ගේ ඉල්ලීම මත පදනම්ව එම නීතියට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් මීට වසර නමයකට පමණ ඉහතදී කමිටුවක්ද පත්කෙරුණු නමුත් ජමියතුල් උලමා සහ තව්හීඩ් ජමාආත් වැනි සංවිධානවලින් මතුවන විරෝධය හමුවේ ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුව මෙතෙක් සමත් වී නැත.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය හේතුවෙන් පීඩාවට පත් වූ තරුණියකගේ වේදනාබර අත්දැකීම ඇතුළු විශේෂ ගවේෂණයකින් හෙළි වූ කරුණු බීබීසී සිංහල සේවය පසුගියදා ප්‍රකාශයට පත්කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ද විවිධ ප්‍රාන්තවල තවමත් බාල වියේ විවාහ සිදුකෙරෙන අතර, නිව්යෝක් ප්‍රාන්තය තුළ විවාහවීමේ වයස අවුරුදු 14 සිට අවුරුදු 18 දක්වා ඉහළ දැමීමේ නීතියකට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා මීට දින දෙකකට ඉහතදී අත්සන් තැබුවේය.

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහයක වේදනාව
නිව්යෝක් ආණ්ඩුකාරවරයාගේ ට්විටර් පණිවුඩය

ඡායාරූප මූලාශ්‍රය, Twitter/@NYGovCuomo

ඡායාරූප ශීර්ෂ වැකිය, නිව්යෝක් ආණ්ඩුකාරවරයාගේ ට්විටර් පණිවුඩය