ව්‍යාජ පුවත් ගැන ශ්‍රී ලාංකිකයන් දැනුවත්ද?

ව්‍යාජ පුවත්

වෙබ් අඩවි සහ සමාජ ජාල ඔස්සේ පළවන ව්‍යාජ පුවත් හඳුනා ගැනීම පිළිබඳ දරුවන් ඇතුළු සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා ලොව ඇතැම් රටවල් මේවන විටත් ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

එවැනි ව්‍යාජ පුවත්වලින් ළමා පරපුර ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේද?

අන්තර්ජාල ආරක්ෂාව සහ ව්‍යාජ පුවත් හා බැඳුණු ගැටලුවලට විසඳුම් සෙවීමේ නව වැඩසටහනක් යුටියුබ් (YouTube) ආයතනය විසින් දියත් කරනු ලැබ තිබේ.

එක්සත් රාජධානිය තුළ වයස 13 - 18 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන් ඉලක්ක කොට ඒ පිළිබඳ පුහුණු වැඩමුළු පැවැත්වීමට කටයුතු කරන බව යුටියුබ් ආයතනය පවසයි.

ශ්‍රී ලංකාව

වීඩියෝ ශීර්ෂ වැකිය, ව්‍යාජ පුවතක් හඳුනා ගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාව හා සම්බන්ධ ව්‍යාජ පුවත් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අවස්ථා ද දුලභ නොවේ.

ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළු වීමට අවසර ලබා දෙමින් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇති බවට පළ වූ වාර්තාව ඊට එක් උදාහරණයකි.

එම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් 'share' වූ අතර කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින ඇමරිකානු වීසා ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවය.

එමෙන්ම 2016 වසරේ ඇමරිකානු ජනාධිපතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු තරග කරන බව පවසමින් ෆේස්බුක් ජාලයේ වාර්තා පළ වූ අතර ඡායාරූපයක් ද සහිතව පළ වූ එවැනි එක් ලිපියක් 7000 කට අධික පිරිසක් විසින් යළි 'share' කරනු ලැබ තිබිණි.

"ඇමරිකාවේ ජනාධිපතිවරණයට ශ්‍රී ලාංකිකයෙක්"

ෆේස්බුක්

ඡායාරූප මූලාශ්‍රය, FB

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකාවේ ජනාධිපතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු තරග කරන බවට සමාජ ජලයේ පළ වූ වාර්තාව

කෙසේ නමුත් එම ඡායාරූපයේ සිටි පුද්ගලයා 2008 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ ඇමරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළ ඉන්දීය සම්භවයකින් පැවත එන බොබී ජිනදාල් නමැති දේශපාලනඥයකු බව බොහෝ දෙනෙක් නොදැන සිටි බව පෙනේ.

මෙවැනි ව්‍යාජ පුවත් පළ කරන පුද්ගලයන්ගේ අරමුණු එකිනෙකට වෙනස් විය හැක.

සිය දේශපාලන මතය තහවුරු කිරීමට හෝ යම් කිසි කරුණක් සම්බන්ධයෙන් වෙනස් මතයක් දැරීම හේතුවෙන් සත්‍ය පුවතක්, ව්‍යාජ පුවතක් ලෙස හැඳින්වීමට ද ඇතැම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් කටයුතු කිරීමට ඉඩ ඇත.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පතුරුවා හරිනු ලබන අසත්‍ය සහ ව්‍යාජ ප්‍රවෘත්ති හඳුනා ගැනීම සම්බන්ධයෙන් පාසල් මගින් සිසුන් දැනුවත් කළ යුතු බව පෙන්වා දෙන ප්‍රමුඛ පෙළ බුද්ධි මණ්ඩලයක් වන බ්‍රිතාන්‍යයේ ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය සමාජ මාධ්‍ය ජාල සියුම්ව පිරික්සීම සම්බන්ධයෙන් ප්‍රශ්න මාලාවක් හඳුන්වා දීමට පියවර ගනිමින් සිටී.

ශ්‍රී ලංකාවේ බලධාරීන් දැනුවත්ද?

සමාජ ජාල

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලක්ෂ තිස් පහකට අධික පිරිසක් ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක් භාවිත කරන අතර ඉන් බහුතරය වයස අවුරුදු තිස් පහට අඩු අය වෙති.

එමෙන්ම ෆේස්බුක් භාවිත කරන පාසල් යන වයසේ දරුවන්ගේ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතී.

ව්‍යාජ පුවත් හඳුනා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ළමුන් ඇතුළු තරුණ පරපුර ඉලක්ක කොට යම් කිසි වැඩසටහනක් ක්‍රියාත්මක වේද?

සමාජ ජාල විශ්ලේෂකයෙකු සහ විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ "ව්‍යාජ පුවත් පැතිර යාම හමුවේ පවතින අවදානම පිළිබඳ ශ්‍රී ලංකාවේ බලධාරීන් අවශ්‍ය තරම් දැනුවත් ද කියන එකත් ප්‍රශ්නයක්" යනුවෙනි.

ව්‍යාජ පුවත් වාර්තා කිරීමේ ප්‍රවණතාව ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන බව කී ඔහු එම තත්වය සමාජ ජාල තුළ පමණක් නොව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළත් දැකිය හැකි බව පෙන්වා දුණි.

"සිහි තබා ගත යුතු දේ තමයි මේ ෆේක් නිවුස් ලංකාවේ අපට නම් අලුත් දෙයක් නොවෙයි. අවුරුදු හතලිහක පනහක ඉඳලා අපේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් ඇතැම් විට සිතා මතාම සාවද්‍ය පුවත් බෙදා හැරීම සිදු කෙරුණා."

වෙනත් මූලාශ්‍ර

ව්‍යාජ පුවත්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නමුත් සමාජ ජාලවල ආරම්භයත් සමග එවැනි ව්‍යාජ පුවත් විශාල වශයෙන් පැතිර යෑමේ සහ 'share' කිරීමේ හැකියාව ලැබී ඇති බව කී ඔහු "ලංකාවේ අවශ්‍ය වෙන්නේ මාධ්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම. ඒ වගේම ප්‍රධාන ධාරාවේ සහ සමාජ ජාල ඔස්සේ ලැබෙන පුවත් ගෙඩි පිටින් පිළිනොගැනීමේ හැකියාව බාල මහලු සියලු දෙනා තුළ ප්‍රවර්ධනය කළ යුතුයි"| යනුවෙනි.

එහිදී පාසල් පද්ධතියට මෙන්ම වගකිවයුතු මාධ්‍ය ආයතන සහ සිවිල් සමාජයට යම් කිසි මෙහෙයක් සිදු කළ හැකි බව ලේඛක නාලක ගුණවර්ධන පෙන්වා දෙයි.

line
line

යම් කිසි තොරතුරක් පිළිබඳ "කුඩා හෝ කුකුසක්" ඇති වේ නම් එවැනි පුවතක් 'share' කිරීමට පෙර වෙනත් මූලාශ්‍ර ඔස්සේ තහවුරු කර ගැනීම සඳහා Google වැනි පිරික්සුම් යන්ත්‍රයක් භාවිත කළ හැකි බව කී ඔහු එසේ නැති නම් කරුණු දන්නා වැඩිහිටියෙකුගෙන් ඒ පිළිබඳ අසා දැන ගත හැකි බව සඳහන් කළේය.

"මේක ඉතා ව්‍යක්ත ලෙස සන්නිවේදනයවන අවස්ථාවක් මම පසුගියදා ෆේස්බුක් තුළම දැක්කා" කී ලේඛක නාලක ගුණවර්ධන "ෆේස්බුක් එකේ පළ වන සියල්ල විශවාස කරන්න එපා යැයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කියයි. දැන් බලන්න මිනිස්සු ඕකත් share කරනවා" යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.