කටාර් අර්බුදය සහ ව්‍යාජ පුවත්

Doctored image of an airplane

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය, ව්‍යාජ ඡායාරූප සහිත පුවත ට්විටර් සමාජ ජාලය තුළ විශාල වශයෙන් හුවමාරු විය

වෙබ් අඩවි සහ සමාජ ජාල ඔස්සේ ව්‍යාජ පුවත් (Fake News) පළ කිරීම මේ වනවිට ලොව පුරා සුලබව දක්නට ඇත.

ඒ ආකාරයෙන් ව්‍යාජ පුවත් පළ කිරීම පිටුපස බොහෝ විට ඇත්තේ දේශපාලනික උවමනාවන්ය.

කටාර් රාජ්‍ය සහ සෞදි අරාබිය ඇතුළු අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ පළ වූ ව්‍යාජ පුවතක් පිළිබඳ මේ වන විට අවධානය යොමු වෙමින් පවතී.

ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ගුවන් තොටුපලේ සිය ගුවන් යානයක් නවතා ඇතැයි සඳහන් කර සමාජ ජාල තුළ වූ පුවත සෞදි අරාබියේ ජාතික ගුවන් සේවය වන 'සෞදියා' සමාගම විසින් බැහැර කරනු ලැබීය.

line
line

"බොරු සහ කටකතා ප්‍රචාරය කිරීම සඳහා සමහරු විශාල වශයෙන් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් භාවිත කරනවා. අතිශයෝක්තියෙන් තොරතුරු පළකර ජාතියේ සංකේතයක් වන අප ගුවන් සමාගමේ නම කැළැල් කරන්න ක්‍රියා කරනවා" යනුවෙන් 'සෞදියා' ගුවන් සමාගමේ ප්‍රකාශක අබ්දුල්රහ්මාන් අල්-තයිබ් එරට 'ඔකාස්' පුවත්පතට පවසා තිබේ.

"අවාසනාවකට සමහරු යහපත් චේතනාවෙන් වුවත් එහි නිවැරදිභාවය පිළිබඳ තහවුරු කර නොගෙන එම ට්විටර් පණිවුඩ යළි යළිත් හුවමාරු කර ගෙන තිබෙනවා. එහි වගකීම ඔවුන් දැරිය යුතු වගේම නීතියට අනුව ඔවුන්ට දඬුවම් ලබා දිය හැකියි" ඔහු අනතුරු අඟවයි.

සැබෑ ඡායාරූපය

Image of an El-Al Boeing outside Ben Gurion Airport

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සැබෑ ඡායාරූපයේ දැක්වෙන්නේ බෝයින් 777 වර්ගයේ එල් අල් ගුවන් සේවයට අයත් යානයකි

සෞදිය ප්‍රමුඛ සෙසු අරාබි රටවල් විසින් සම්බාධක පනවනු ලැබීමට විරෝධය පළ කර අසල්වැසි කටාර් රාජ්‍යයට සහාය පළ කරන්නන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබෙන බව ඔහු සඳහන් කරයි.

ත්‍රස්තවාදය සහ කලාපය තුළ තමන්ට ප්‍රතිවිරුද්ධ මතයක් දරන ඉරානයට සහාය ලබා දෙන බවට සෞදි අරාබිය සහ සෙසු මිත්‍ර රටවල් කටාර් රාජ්‍යයට චෝදනා කරති.

කටාර් රාජ්‍යය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

අදාළ වාර්තාව හා සම්බන්ධ සැබෑ ඡායාරූපය රොයිටර් පුවත් සේවයට අයත් වූවක් වන අතර එය සැබෑ වශයෙන්ම බෙන් ගුරියන් ගුවන් තොටුපලේ නවතා තිබූ ඊශ්‍රායලයේ 'එල් අල්' ජාතික ගුවන් සේවයට අයත් යානයකි.

line
line

සෞදි අරාබිය සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපවතින අතර දෙරට අතර පවතින නොනිල සබඳතා සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳ සෞදි අරාබිය දැඩි අවධානයකින් පසු වෙයි.

2015 වසරේ දී සත්‍ය වශයෙන්ම මගීන් රහිත 'සෞදියා' ගුවන් යානයක් බෙන් ගුරියන් ගුවන් තොටුපලට ගොඩබා තිබුණේ භාවිතයට නොගන්නා එම යානය කුලී පදනම යටතේ ලබා ගත් පෘතුගාල සමාගමක් විසිනි.

ඒ සමග සෞදියා ගුවන් සමාගම අදාළ සමාගම හා පැවති කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට වහා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව

වීඩියෝ ශීර්ෂ වැකිය, ව්‍යාජ පුවතක් හඳුනා ගන්නේ කෙසේද? - සමාජ ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන

ශ්‍රී ලංකාව හා සම්බන්ධ ව්‍යාජ පුවත් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අවස්ථා ද දුලභ නොවේ.

ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළු වීමට අවසර ලබා දෙමින් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇති බවට පසුගිය පෙබරවාරි මාසයේ පළ වූ වාර්තාව ඊට එක් උදාහරණයකි.

line
line

එම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් 'share' වූ අතර කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින ඇමරිකානු වීසා ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවය.