කටාර් රියාල්: "සාවද්‍ය" මාධ්‍ය වාර්තා

කටාර්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කටාර් රියාල් භාර නොගන්නා ලෙස සෙසු බැංකුවලට දැනුම් දී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටින්නේ කටාර් රියාල් භාර නොගන්නා ලෙස සිය ආයතනය සෙසු බැංකුවලට දැනුම් දී ඇති බවට පළ වන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බවය.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රැගෙන එන කටාර් රියාල් මුදල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික බැංකු විසින් මාරු නොකරන බවට මාධ්‍ය වාර්තා පළ වේ.

කෙසේ නමුත් අද අඟහරුවාදා (ජුනි 06) බලධාරීන්ගේ මැදිහත්වීමෙන් රාජ්‍ය බැංකුවල එම මුදල් මාරු කර දීම සිදු කෙරිණි.

line
line

උදෑසන 09.00 ට පමණ ගුවන තොටුපොළට පැමිණි අවස්ථාවේ සියලුම බැංකු කටාර් රියාල් මාරු කිරීම ප්‍රතික්ෂේප කළ බව ගුවන් මගියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

කටුනායක ගුවන් තොටුපලේ මෙන්ම රට පුරා පිහිටි පෞද්ගලික මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානවල ද කටාර් රියාල් මාරු කිරීම බොහෝ දුරට නවතා දමා තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලාංකිකයන් 120,000 ක්

මහ බැංකුව

ඡායාරූප මූලාශ්‍රය, cbsl.gov.lk

කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථාන කිහිපයකින් බීබීසී සිංහල සේවය ඒ පිළිබඳ විමසූ අවස්ථාවේ ඔවුන් කියා සිටියේ කටාර් රියාල් මුදලේ අගය කඩා වැටීමක් සිදුවුවහොත් තමන්ට පාඩු සිදුවිය හැකි බැවින් එම මුදල් භාර ගැනීමෙන් වැළකී සිටින බවය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෞද්ගලික බැංකු 4 ක් මේ වන විට කටාර් රියල් භාර ගැනීම නවතා දමා ඇති බව රොයිටර් පුවත් සේවය ද වාර්තා කරයි.

සඳුදා රුපියල් 40 කට ආසන්න වූ කටාර් රියාල් එකක් අද අඟහරුවාදා වන විට රුපියල් 39 දක්වා අඩු වී ඇති අතර එය තවදුරටත් අඩු වනු ඇති බවට ඇතැම් මූල්‍ය ආයතන බිය පළ කරයි.

කටාරය සමග පවතින තානාපති සබඳතා අත්හිටවීමට සෞදි අරාබිය ඇතුළු කලාපීය රටවල් ගත් තීන්දුව හමුවේ මතුව තිබෙන අර්බුදකාරී වාතාවරණය පහව යන තෙක් මෙම තත්වය පවතිනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ විශ්වාසය පළ කරති.

යම්හෙයකින් කටාර් රියාල් මුදල් ඒකකය අවප්‍රමාණය වුවහොත් එරට වෙසෙන 120,000 කට ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ද එය දැඩි ලෙස බලපානු ඇත.