කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද?

ඡායාරූප මූලාශ්‍රය, AFP
කටාරය සමග තානාපති සම්බන්ධතා අත්හිටුවීමට සහ මුහුදු, ගොඩබිම් සහ ගුවන් සියළු දේශසීමා වසා දැමීමට අරාබි රටවල් හයක් ගෙන තිබෙන තීරණය මගින් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හෝ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට කිසිදු බලපෑමක් නොවන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.
ශ්‍රී ලාංකිකයන් 125,000 ක් පමණ කටාරයේ සේවයේ නිරත වී සිටින බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරල, අරාබි රටවල තීරණය ඔවුන්ට හෝ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට අදාළ නොවන බවත් කියා සිටියේය.
"ස්වාධීන රටක් හැටියට අපි අපේ ස්ථාවරයේ ඉන්නව," ඇමතිනිය සඳහන් කළාය.
ඉස්ලාමීය රාජ්‍ය (IS) කැරලිකරුවන්, අල් කයිඩා සංවිධානය ඇතුළු සන්නද්ධ සංවිධානවලට ආධාර කරන බවට චෝදනා කරමින් කටාරය සමග සියලු සම්බන්ධතා අත්හිටුවන බව සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය සහ ලිබියාව නිවේදනය කළේය.
සවුදි ආහාර
එහෙත් කටාරය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
අරාබි රටවල තීරණයෙන් අනතුරුව කටාරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තමා කටාරයේ වෙසෙන ශ්‍රී ලාංකික තානාපති නිලධාරීන්ගෙන් විමසා බැලූ බව ද තලතා අතුකෝරල ඇමතිවරිය බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළාය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
කටාරයේ පරිභෝජනය කෙරෙන ආහාරවලින් 40% ක් පමණම සවුදි අරාබියේ සිට ලොරිවලින් ප්‍රවාහනය කෙරෙන බව විශ්වාස කෙරෙන අතර, එබැවින් සවුදිය රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවීම කටාරයේ ආහාර ස්ථාවරභාවයට ක්ෂණික බලපෑමක් ඇතිකිරීමට ඉඩ තිබේ.
ආහාර සහ ජලය ගබඩා කරගැනීම පිණිස ජනතාව වෙළෙඳසල් වෙත ඇදීයමින් සිටි බව The Doha News පුවත්පත වාර්තා කරයි.
අරාබි රටවල් හයක් මේ ආකාරයට කටාරය සමග එක්වරම සම්බන්ධතා අත්හිටවූයේ ඇයි?
'හුදෙකලා වෙලා'
මැද පෙරදිග කටයුතු පිළිබඳ බීබීසී විශ්ලේෂක ඇලන් ජොන්ස්ටන් පෙන්වාදෙන අන්දමට බාහිර ලෝකයට විවෘත නොවූවත් කටාරය සහ එහි අසල්වැසියන් අතර කලක් මුළුල්ලේ උණුසුමක් පැවතින.

උදාහරණයක් ලෙස කටාරය මුස්ලිම් සහෝදරත්වය වැනි සංවිධාන කෙරෙහි නැඹුරුවක් දැක්වූ අතර එය සවුදි අරාබියේ සහ ඊජිප්තුවේ ප්‍රසාදයට හේතු නොවීය.
කටාරය සිය මතය සමග එකඟ කරගැනීමට අසල්වැසි රටවල් උත්සාහ කළ නමුත් එය සාර්ථක නොවූ බව පෙන්වාදෙන ඇලන් ජොන්ස්ටන්, මැද පෙරදිග කලාපය සම්බන්ධ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ස්ථාවරයත් සමග කටාරයට එරෙහිව පියවර ගැනීමට අසල්වැසි රටවලට නව ජවයක් ලැබී තිබෙන හැඩක් දකින්නට ලැබෙන බවත් පවසයි.
මේ තත්වය යටතේ මේ කුඩා රාජ්‍යයේ පාලකයන් මේ මොහොතේ හුදෙකලා වී සිටින බව බීබීසී වාර්තාකරු ගේ විග්‍රහයයි.
මේ අතර තමන්ට එරෙහි චෝදනා තරයේ බැහැර කරන කටාරයේ විදේශ අමාත්‍යාංශය පවසන්නේ "කලෙක පටන් කටාර් රාජ්‍යයට හානි කිරීමේ යටි අදහසින් යුතුව සිතා මතා කරනු ලබන පෙළඹවීමේ වෑයමක ඉලක්කයක් බවට කටාර් රජය පත්ව තිබෙන," බවය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
අරාබි රටවල් හයේ තීරණය හේතුවෙන් කටාර වැසියන්ගේ සහ එහි වෙසෙන විදේශිකයන්ගේ සාමාන්‍ය දිවි පෙවෙතට කිසිදු බලපෑමක් ඇතිනොවීම තහවුරු කිරීම පිණිස සියලු පියවර ගන්නා බවත් කටාර් රාජ්‍යය අවධාරණය කරයි.













