කටාර්: අර්බුදයකට මැදි වූයේ ඇයි?

Doha waterfront

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩෝහා අගනුවර

කටාර් රාජ්‍ය සහ සෞදි අරාබිය, බහරේනය, ලිබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, යේමනය, ඊජිප්තුව යන රටවල් අතර පවතින අර්බුදකාරී තත්ත්වය ඛනිජ තෙල් මිල, ගමනාගමන සහ නෞකා ප්‍රවාහන ක්ෂේත්‍ර කෙරෙහි බලපා තිබේ.

එමෙන්ම ඉහත කී රටවල් විසින් සිය දේශ සීමා වසා දමනු ලැබීමත් සමග කටාර් රාජ්‍ය තුළ ආහාර හිඟයක් ඇති විය හැකි බවට ද බිය පළ වී ඇත.

කටාර් රාජ්‍ය සහ සෞදි ආරාබිය අතර මතුව තිබෙන අර්බුදයට විසඳුම් ලබා දීමේ උත්සාහයක් කුවේට් එමීර්වරයාගේ නායකත්වයෙන් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

ඉස්ලාම් අන්තවාදයට සහාය දෙන බවට චෝදනා කරමින් කටාර් රාජ්‍ය සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට අරාබි රටවල් හයක් සඳුදා (ජුනි 05) පියවර ගත්හ.

කටාර් රාජ්‍ය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

line
line

මේ අතර සෞදි අරාබියට සහාය පළ කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා මීට ඉහත දී ට්විටර් පණිවුඩයක් නිකුත් කළ අතර එය සියලු පාර්ශ්වවලට පොදුවේ කළ ප්‍රකාශයක් බව පසුව ධවල මන්දිරය නිවේදනය කළේය.

තමන් පසුගියදා සෞදි අරාබියේ කළ සංචාරයේ ප්‍රතිඵල දැනටමත් දැක ගැනීමට ලැබෙමින් පවතින බව සඳහන් කළ ඇමරිකානු ජනාධිපතිවරයා කටාර් රාජ්‍ය හුදෙකලා කිරීමට අරාබි රටවල් ගත් තීන්දුව "ත්‍රස්තවාදයේ බියකරු බව නිමා කිරීමේ ආරම්භය" සනිටුහන් කිරීමට ඉඩ ඇති බව පැවසීය.

අරාබි රටවලට අවශ්‍යව ඇත්තේ කුමක්ද?

කටාර්

ගල්ෆ් කලාපය තුළ හුදෙකලා වී නොසිටීමට අවශ්‍ය නම් අත්පත්කර ගත් ප්‍රදේශවල ක්‍රියාත්මක පලස්තීන හමාස් සංවිධානය සහ ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය සමග පවතින සබඳතා අත්හරින ලෙස සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරයා කටාර් රාජ්‍යයෙන් ඉල්ලා සිටියේය.

පලස්තීනයේ ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් අතර විශාලතම සංවිධානය වන හමාස් සංවිධානය වසර දහයකට ඉහත ගාසා තීරයේ පැවති ගැටුමින් අනතුරුව අරාබි ලෝකය තුළ මැතිවරණයකින් ජයගත් එවැනි පළමු ඉස්ලාමීය කණ්ඩායම බවට පත්විණි.

line
line

ඊජිප්තුවේ ක්‍රියාත්මක ඉස්ලාමීය කණ්ඩායමක් වන මුස්ලිම් සහෝදරත්වය එරට තුළ දේශපාලනික වශයෙන් සක්‍රිය වී තිබේ.

හමාස් සහ මුස්ලිම් සහෝදරත්වය ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙස ඇතැම් රටවල් හඳුන්වති.

කටාර්හි සිදු වෙමින් පවතින්නේ කුමක්ද?

කටාර්

වොෂිංටනයේ සිටින බීබීසී වාර්තාකාරිනී බාබරා ප්ලෙට් ඌෂර් පවසන්නේ කටාර්, සෞදි අරාබිය සහ කුවේට් යන සියලු රටවල් සිරියාවේ අන්තවාදී කණ්ඩායම්වලට මූල්‍යාධාර ලබා දුන් බවය.

ඇමරිකාවෙන් එල්ල වූ පීඩනය මත සෙසු රටවල් ඉන් පසුබා ගිය අතර මධ්‍යථ ක්‍රියාකාරිකයකු මෙන්ම සමථකරුවකු ලෙස තමන්වම දකින්නට කටාර් රාජ්‍යය කැමැත්තක් දැක්වුවද, එහි ක්‍රියාකාරීත්වය අන් රටවලට වඩා විවේචනයට ලක්වන නොපැහැදිලි තත්ත්වයක් පෙන්වන බව ඇය පවසන්නීය.

මේ අතර කටාර් විදේශ ඇමති ෂේක් මොහම්මද් බින් අබ්දුල්රහ්මාන් අල් - තානි කියා සිටියේ " කටාර් ආණ්ඩුව ඉස්ලාමීය අන්තවාදයට සහාය දෙන බවට කිසිදු සාක්ෂියක් නැහැ" යනුවෙනි.

ශ්‍රී ලංකාවට ඇති බලපෑම

ගෘහ සේවය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ විසිදහසක් පමණ කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති.

කලාපයේ රටවල් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය එරට සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන්ට බලපා නැති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

line
line

අඟහරුවාදා (ජුනි 06) නිවේදනයක් නිකුත් කරමින් විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ කියා සිටියේ ශ්‍රී ලාංකිකයන්ට බලපෑමක් ඇති වුවහොත් ඔවුන් නැවත ගෙන්වා ගැනීමට රජය සූදානම් බවය.

මේ අතර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කටාර්හි ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී ලියනගේ කියා සිටියේ අවශ්‍ය තරම් ආහාර සංචිත ඇති බවට එරට බලධාරීන් තානාපතිවරු දැනුවත් කළ බවය.

line

ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?

කටාර් අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

Skype BBC Sinhala

ඊමේල් : [email protected]