සිරියානු යුද්ධය ගැන මේ කරුණු දැන සිටියාද?

ඡායාරූප මූලාශ්‍රය, AP
සිරියානු අයිඑස් කැරලිකරුවන් හතළිස් දෙනකු ගුවන් ප්‍රහාරවලින් මරුමුවට පත් වී ඇති බව බ්‍රිතාන්‍ය මූලස්ථානය කොට ගත් නිරීක්ෂණ කණ්ඩායමක් වාර්තා කරයි.
සිරියාවේ නැගෙනහිරට වන්නට පිහිටි හමා පළාත හරහා රාත්‍රියේ ගමන් ගත් රථ පෙළක් ඉලක්ක කොට එම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති බවයි සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය පවසන්නේ.
ප්‍රහාරය එල්ල කළ ගුවන් යානා රුසියාවට හෝ සිරියාවට අයත් විය හැකි බව කියා සිටි නිරීක්ෂණ ආයතනයේ ප්‍රධානියා එය ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයක් නොවන බවයි සඳහන් කළේ.
රාමි අබ්දෙල් රහ්මාන් ප්‍රංශ පුවත් සේවයට කියා සිටියේ කැරලිකරුවන්ට අයත් පිලිස්සුණු ශරීර කොටස් ප්‍රහාරය එල්ල වූ ස්ථානය අවට දැකිය හැකි බවයි.
ප්‍රහාරයට ලක් වූ රථ දහසය ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් අත පවතින රකා නගරයේ සිට පැමිණ ඇති බවත් නිරීක්ෂණ ආයතනය සඳහන් කළේය.
ගුවන් ප්‍රහාරවල ඉලක්කය

ඡායාරූප මූලාශ්‍රය, RIA Novosti
රුසියාව පසුගිය මාසයේදී සිරියාව තුළ සිය ගුවන් මෙහෙයුම් ආරම්භ කරමින් කියා සිටියේ අයිඑස් කැරලිකරුවන් ඉලක්ක කොට ගුවන් ප්‍රහාර එල්ල කරන බවයි.
සිරියානු ජනපති බෂර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව සටන්කරන කැරලිකරුවන් රුසියානු ගුවන් ප්‍රහාරවල ඉලක්කය වී ඇති බව මේ අතර ඇමරිකාව ඇතුළු බටහිර රටවල් චෝදනා කළහ.
අයිඑස් කැරලිකරුවන්ට එරෙහිව සිරියාව තුළ ගුවන් ප්‍රහාර දියත් කරන ඇමරිකාව පවසන්නේ රුසියානු මෙහෙයුම්වලට තම හමුදාවල සහාය නොලැබෙන බවයි.
සිරියානු යුද්ධය

ඡායාරූප මූලාශ්‍රය, AFP
සිව් වසරකට පෙර සිරියාවේ ඇරඹි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය.
ආණ්ඩු විරෝධී කැරලිකරුවන් හමුවේ රට අස්ථාවර භාවයට පත් වීමත් සමග සිරියාවේ ඇතැම් ප්‍රදේශ ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවෝ අත්පත් කර ගත්හ.
ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින කැරලිකරුවන්ට අමතරව සිරියානු ජනපති අසාද්ගේ පාලනයට එරෙහිව සටන් කරන කැරලිකරුවන් සහ කුර්දි සටන්කරුවන්ගේ ක්‍රියාකාරිත්වයද සිරියාව තුළ වර්ධනය වී තිබේ.
ජීවිත වන්දි

සිරියානු සිවිල් යුද්ධයට මැදි වී මරුමුවට පත් පිරිස දෙලක්ෂ පනස්දහසකට අධිකයි.
ගැටුම්වලට මැදි වී දස ලක්ෂයක් තුවාල ලබා ඇති අතර එක් කෝටි දස ලක්ෂයකට උන්හිටි තැන් අහිමි වී තිබේ.
ජීවිත ආරක්ෂාව පතා යුරෝපය ඇතුළු වෙනත් රට වලට පළා ගොස් සිටින පිරිස හතළිස් ලක්ෂයකට ආසන්න වේ.
ජාත්‍යන්තර මැදිහත්වීම

ඡායාරූප මූලාශ්‍රය, .
ඉරානය, රුසියාව සහ ලෙබනනයේ හිස්බුල්ලා ව්‍යාපාරය සිරියානු ජනපති අසාද්ට සහාය පළ කරති.
ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සමග තුර්කිය, සෞදි අරාබිය සහ කටාර් රාජ්‍ය සුන්නි බහුතරයක් වන අසාද් පාලනයට එරෙහි විරුද්ධ කණ්ඩායම්වලට සහාය ලබා දෙති.
මේ අතර ඇමරිකාව ඇතුළු බටහිර ඒකාබද්ධ හමුදා සහ රුසියාව සිරියාව තුළ ගුවන් ප්‍රහාර දියත් කරති.








