සිරියානු අර්බුදය: අසාද්ගෙන් අනතුරු හැඟවීමක්

ඡායාරූප මූලාශ්‍රය, Ria Novosti
සිරියානු, රුසියානු, ඉරාන සහ ඉරාක ඒකාබද්ධ හමුදා මෙහෙයුම් සාර්ථක නොවුනොත් ''සම්පුර්ණ කලාපයම විනාශ වනු ඇති'' බවට සිරියානු ජනපති බශාර් අල් අසාද් අනතුරු හඟවයි.
ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා සිරියාව තුළ සිදු කරනු ලබන ගුවන් ප්‍රහාර ජනපති අසාද් හෙළා දැක තිබේ.
ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ගේ පාලනයට හානි පමුණුවමින් ඔවුන්ට අයත් කඳවුරු දහයක් ඉලක්ක කොට ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි රුසියාව පවසන්නේ.
මේ අතර සිරියානු ජනපතිවරයාට සහාය පළ කොට සිදු කෙරෙන රුසියානු හමුදා මැදිහත්වීම් තුර්කිය සහ බ්‍රිතාන්‍ය හෙළා දකිති.
රුසියාවේ ක්‍රියාකලාපය ත්‍රස්තවාදය සහ රැඩිකල් මත වාද තවදුරටත් ව්‍යාප්ත කිරීමට අනුබල දෙනු ඇති බවයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කියා සිටියේ රුසියානු ගුවන් ප්‍රහාරවල ඉලක්කය බවට පත් වූ බොහොමයක් ප්‍රදේශ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට අයත් නොවන වෙනත් කණ්ඩායම්වල පාලනයේ පවතින ප්‍රදේශ බව පෙනෙන්නට තිබෙන බවයි.
‘අපට පෙනෙන්නට තිබෙන ආකාරය නම් රුසියානු ප්‍රහාර එල්ල වී තිබෙන්නේ සිරියාව තුළ අයිඑස් පාලනය පවතින ප්‍රදේශවලට නොවෙයි. සිරියාවේ ආණ්ඩුවට විරුද්ධ කණ්ඩායම් අත පවතින ප්‍රදේශවලට එම ප්‍රහාර එල්ල වී ඇති බව පෙනෙන්නට තිබෙනවා’
සිරියාවේ සිදු කෙරෙන රුසියානු හමුදා මැදිහත් වීම් බරපතළ අත්වැරැද්දක් ලෙස හැඳින්වූ තුර්කි ජනපති රෙජේප් තයියෙප් අර්දොගන් කියා සිටියේ එම ක්‍රියාමාර්ගය හේතුවෙන් මොස්කව් පාලනය ජාත්‍යන්තරය තුළ තවදුරටත් හුදකලා වනු ඇති බවයි.








