මුස්ලිම් සහෝදරත්වය තහනම් කෙරෙන අධිකරණ තීන්දුවක්

මුස්ලිම් සහෝදරත්වය ඊජිප්තු භූමිය තුළ කිසිදු ක්‍රියාවක නිරත වීම නීතියෙන් තහනම් කරමින් තීන්දුවක් ප්‍රකාශයට පත් කළ උසාවියක්, එම පක්ෂය සතු වත්කම් රාජ සන්තක කරන මෙන් නියෝග කර ඇත.

මුස්ලිම් සහෝදරත්වය නියෝජනය කළ හිටපු ජනාධිපති මොහමඩ් මුර්ෂි පසුගිය ජූලි මාසයේ පදවියෙන් යුද හමුදාවේ මැදිහත් වීමෙන් නෙරපා හරිනු ලැබුණි.

හමුදාවේ සහයෝගය ලබන ඊජිප්තු ආණ්ඩුව ඉන් අනතුරුව මුස්ලිම් සහෝදරත්වය පක්ෂයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග රැසක් ගනිමින් ඇති අතරයි, උසාවි නියෝගය ප්‍රකාශයට පත් කෙරුණේ.

ඊජිප්තු ආණ්ඩුවට එරෙහි විපක්ෂයට දැන් නායකත්වය සපයන්නේ මුස්ලිම් සහෝදරත්වයයි.

ජනාධිපති මුර්ෂි යළි පදවියෙහි පිහිටුවන මෙන් බල කරමින් ඔහුගේ ආධාර කරුවන් පසු ගිය ජූලි මාසයේ පටන් ගෙන යමින් තිබුන විරෝධතා ව්‍යාපාර වලදී යුද හමුදාව සමඟ ඇති වූ ගැටුම්වලදී සිය ගණනක් මරා දැමුණ බවත් වාර්තා කෙරිණ.