අහස උසට ගොඩනැගිලි සහිතව ඉදිවෙන සිය 'නව ගාසා ' සැලසුම එක්සත් ජනපදය එළිදක්වයි

Secretary of State Marco Rubio listens to a presentation about US plans for the "New Gaza", during the signing ceremony for President Donald Trump's new Board of Peace, at the World Economic Forum in Davos, Switzerland (22 January 2026)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'නව ගාසා තීරය' සඳහා වන එක්සත් ජනපදයේ සැලැස්ම ඩාවෝස්හි පැවති ලෝක ආර්ථික සමුළුවේදී ඉදිරිපත් කරන ලදී
    • Author, ඩේවිඩ් ග්‍රිට්න්

විනාශයට පත් පලස්තීන භූමිය නැවත ගොඩනගන "නව ගාසා තීරයක්" සඳහා වන තම සැලසුම් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් හෙළි කරනු ලැබ තිබේ.

මධ්‍යධරණී වෙරළ තීරය දිගේ විහිදී ඇති අහස උසට නැගෙන ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් සහ රෆා ප්‍රදේශයේ නිවාස පහසුකම් මෙන් ම, මිලියන 2.1ක ජනගහනය සඳහා නව නේවාසික, කෘෂිකාර්මික සහ කාර්මික කලාප අදියරෙන් අදියර සංවර්ධනය කිරීම දැක්වෙන සිතියමක්, ඔවුන් විසින් තිරයක් මත (ස්ලයිඩ්ස්) පෙන්වන ලදී.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර වසර දෙකක යුද්ධය අවසන් කිරීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සාම මණ්ඩලය සම්බන්ධයෙන් ඩාවෝස්හි පැවති ලෝක ආර්ථික සංසදයේ පැවති ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයකදී මෙම සැලැස්ම ඉදිරිපත් කෙරිණි.

"අපි ගාසා තීරයේ ඉතා සාර්ථක වෙන්නයි යන්නේ. ඒක දකින්න ආස දෙයක් වෙයි," ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය.

"මං හදවතින් ම දේපළ වෙළෙඳාම් කරන කෙනෙක්, මේ සියල්ල ම තැනත් එක්ක සුවිශේෂ යි. මං කියන්නේ: 'මේ මුහුද තියෙන තැන බලන්න. මේ ලස්සන දේපළ දිහා බලන්න. මිනිස්සුන්ට මේක කොහොම වෙයි ද කියලා හිතන්න."

ඔක්තෝබර් මාසයේදී ක්‍රියාත්මක වූ සටන් විරාමය ඇති කර ගැනීමට උදව් කළ ට්‍රම්ප්ගේ බෑණා වන ජෙරාඩ් කුෂ්නර් පැවසුවේ, ගාසා තීරයට ටොන් 90,000ක බෝම්බ හෙළා ඇති බවත්, ටොන් මිලියන 60ක සුන්බුන් ඉවත් කළ යුතුව ඇති බවත් ය.

"මුලදී අපි 'නිදහස් කලාපයක් හදමු, ඊට පස්සේ අපිට හමාස් කලාපයක් තියෙයි' කියන අදහස සමග අපි හිටියේ. ඊට පස්සේ අපි කිව්වා: 'ඔබ දෙයක් දන්නව ද, දැවැන්ත සාර්ථකත්වයකට අපි සැලසුම් කරනවා'," උත්සවය අමතමින් ඔහු පැවසීය.

"හමාස් සංවිධානය හමුදාකරණයෙන් නිදහස් කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කළා, අපි ක්‍රියාත්මක කරන්න යන්නේ අන්න ඒක. මිනිස්සු අපෙන් අහනවා අපේ B සැලැස්ම මොකක් ද කියලා. අපිට B කියලා සැලැස්මක් නැහැ."

Palestinians walk past destroyed buildings in Khan Younis, southern Gaza (22 January 2026)

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවට අනුව ගාසා තීරයේ සියලු ම ගොඩනැගිලිවලින් 81%ක් විනාශ වී හෝ හානි වී ඇත

එක්සත් ජනපදයේ "මාස්ටර් ප්ලෑන්" එකට අයත් සිතියමේ "වෙරළබඩ සංචාරක ව්‍යාපාරය" සඳහා වෙන් කර ඇති කලාපයක් පෙන්වන ලද අතර, එහි අහස උසට නැගෙන කුලුනු 180ක ගොඩනැගිලි මෙන් ම "නේවාසික ප්‍රදේශ", "කාර්මික සංකීර්ණ, දත්ත මධ්‍යස්ථාන, උසස් නිෂ්පාදන" සහ "උද්‍යාන, කෘෂිකර්මාන්ත සහ ක්‍රීඩා පහසුකම්" සඳහා කලාප ගණනාවක් ඇත.

ඊජිප්තු දේශසීමාව ආසන්නව නව වරායක් සහ ගුවන්තොටුපළක් ඉදිකරන අතර, ඊජිප්තු සහ ඊශ්‍රායල් දේශසීමා හමුවන "ත්‍රෛපාර්ශ්වික හරස් මාර්ගයක්" ඉදිවනු ඇත.

මෙම නව සංවර්ධන ව්‍යාපෘතිය අදියර හතරකට බෙදා ඇති අතර රාෆා නගරයෙන් ආරම්භ වන එය ක්‍රමයෙන් උතුරු දිශාවෙන් ගාසා නගරය දෙසට ව්‍යාප්ත කෙරෙනු ඇත.

ඊජිප්තු සහ ඊශ්‍රායල දේශසීමා දිගේ දිවෙන හිස් බිම් තීරුවක් ද සිතියමේ දක්නට ලැබිණි. ට්‍රම්ප්ගේ කරුණු 20කින් යුත් සාම සැලැස්මේ "ගාසා තීරය නිසි ලෙස සුරක්ෂිත වන තුරු" ඊශ්‍රායල හමුදා රැඳී සිටින "ආරක්ෂක සීමාව" ලෙස සඳහන් කලාපයක් ද දකින්නට තිබිණි.

Screengrab of slide showing the US "Master Plan" map for the reconstruction of Gaza, which was shown during the signing ceremony for President Donald Trump's new Board of Peace, at the World Economic Forum in Davos, Switzerland (22 January 2026)

ඡායාරූප මූලාශ්‍රය, White House

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

තවත් තිරයක දැක්වුණේ, "නව රෆා"හි ස්ථිර නිවාස ඒකක 100,000කට වඩා, අධ්‍යාපන මධ්‍යස්ථාන 200ක් සහ වෛද්‍ය පහසුකම් මධ්‍යස්ථාන 75ක් ඇති බව ය.

ගාසා තීරයේ දකුණු කෙළවරේ පිහිටි නගරයේ කලක් 280,000ක් පමණ ජනතාවක් දිවි ගෙවූ නමුත්, යුද්ධය අතරතුර ඊශ්‍රායල ප්‍රහාර සහ සැලසුම් කර කඩා දැමීම් මගින් නගරය බොහෝදුරට සමතලා කර ඇති අතර වර්තමානයේ එය ඊශ්‍රායලයේ පාලනයට නතු භූමිය තුළ පිහිටා ඇත.

"නව රෆා" ඉදිකිරීම් වසර දෙක තුනකින් නිම "කළ හැකි" බව කුෂ්නර් පැවසීය.

"අපි දැනටමත් සුන්බුන් ඉවත් කිරීම සහ ගොඩනැගිලි කඩා දැමීමේ කටයුතු කිහිපයක් ආරම්භ කර තිබෙනවා. ඊට පස්සේ නව ගාසා තීරය ඉදිවෙනවා. ඒක බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්, ගමනාන්තයක් වෙන්න පුළුවන්, ගොඩක් කර්මාන්ත තියෙන්න පුළුවන්."

ඔහු තවදුරටත් පැවසුවේ, ඉදිරි සති කිහිපය තුළ වොෂින්ටනයේ පැවැත්වෙන සමුළුවකදී රටවලින් ලැබෙන දායකත්වයන් ප්‍රකාශයට පත් කෙරෙන අතර පෞද්ගලික අංශය සඳහා "විස්මිත ආයෝජන අවස්ථා" දක්වා තිබෙන බව ය.

පසුගිය පෙබරවාරි මාසයේදී, ගාසා තීරයේ පලස්තීනුවන් අසල්වැසි රටවලට ස්ථිරව ම ගෙන යා හැකි බවත්, එක්සත් ජනපදය එම භූමිය අත්පත් කර ගනිමින් එය "මැද පෙරදිග රිවීරා" නැතහොත් මැද පෙරදිග වෙරළබඩ තීරය බවට පරිවර්තනය කළ හැකි බවටත් යෝජනා කරමින් ට්‍රම්ප් ලොව පුරා විරෝධයක් ඇති කළේ ය.

Screengrab of slide showing the US plan for the construction "New Rafah", which was shown during the signing ceremony for President Donald Trump's new Board of Peace, at the World Economic Forum in Davos, Switzerland (22 January 2026)

ඡායාරූප මූලාශ්‍රය, White House

ගාසා තීරයේ හමුදාකරණයෙන් තොර කලාපයක් බවට පත් කිරීම "දැන් ආරම්භ වෙමින් පවතින" බව කුෂ්නර් ප්‍රකාශ කළ අතර, "ආරක්ෂාව නොමැතිව කිසිවෙකු ආයෝජන නොකරන" බව සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, තාක්ෂණිකව එම ප්‍රදේශයේ නව පලස්තීන රජය වන ගාසා පරිපාලනය සඳහා වූ ජාතික කමිටුව (NCAG), "ලේඛනයේ එකඟ වූ මූලධර්ම ඊළඟ අදියර දක්වා සැබවින් ම ගෙන යාම සඳහා හමුදාකරණයෙන් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා හමාස් සමඟ කටයුතු කරන" බව ය.

ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීමෙන් තොරව තම අවි අත් බිම තැබීමට හමාස් සංවිධානය මීට පෙර ප්‍රතික්ෂේප කර තිබිණි.

නමුත් ට්‍රම්ප් ඔවුන්ට අනතුරු ඇඟවීමක් කළේ ය: "ඔවුන්ට ඔවුන්ගේ ආයුධ බිම තියන්න වෙනවා. එහෙම නොකළහොත් ඒක ඔවුන්ගේ අවසානය වෙයි."

Screengrab of slide showing the US "demilitarisation principles", which was shown during the signing ceremony for President Donald Trump's new Board of Peace, at the World Economic Forum in Davos, Switzerland (22 January 2026)

ඡායාරූප මූලාශ්‍රය, White House

පසුගිය සතියේ සාම සැලැස්මේ දෙවන අදියර ආරම්භ වීමට පෙර සිදුවිය යුතුව තිබූ බවට ඊශ්‍රායලය පැවසූ ගාසා තීරයේ මියගිය අවසන් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුගේ සිරුර, හමාස් සංවිධානයට භාර දෙන ලෙස ට්‍රම්ප් ද අවධාරණය කළේ ය.

පළමු අදියර යටතේ, හමාස් සහ ඊශ්‍රායලය සටන් විරාමයට එකඟ වූහ. ඒ යටතේ ගාසා තීරයේ ජීවත්ව සිටින සහ මියගිය සියලු ම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු, ඊශ්‍රායල් බන්ධනාගාරවල රඳවා සිටින පලස්තීන ජාතිකයන් වෙනුවෙන් හුවමාරු කර ගැනීම මෙන්ම ඊශ්‍රායලය අර්ධ වශයෙන් භූමියෙන් ඉවත් වීම සහ මානුෂීය ආධාර සැපයීම්වල වැඩිවීමක් සිදු විය.

සටන් විරාමය තවමත් බිඳෙනසුලු වන අතර, ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, පසුගිය මාස තුන තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීන ජාතිකයන් 477 දෙනෙකු මිය ගොස් තිබේ. පලස්තීන සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රහාරවලින් තම සොල්දාදුවන් තිදෙනෙකු මිය ගොස් ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි.

බ්‍රහස්පතින්දා ගාසා තීරය හරහා ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගිය බව වාර්තා වන අතර, ඉන් හතර දෙනෙකු ගාසා නගරයේ නැගෙනහිර සයිටවුන් නැමති යාබද ප්‍රදේශයට එල්ල වූ කාලතුවක්කු ප්‍රහාරයකින් මිය ගියහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, මානුෂීය තත්ත්වයන් තවමත් භයානක ය. මිලියන 1කට ආසන්න ජනතාවකට ප්‍රමාණවත් නවාතැන් නොමැති අතර මිලියන 1.6ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දී සිටිති.

Palestinian women mourn during the funeral for people reportedly killed in Israeli strikes, at al-Shifa hospital, Gaza City, northern Gaza (22 January 2026)

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සටන් විරාමය නොතකා බ්‍රහස්පතින්දා ගාසා තීරය පුරා ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් පස් දෙනෙකු මිය ගිය බව වාර්තා වේ

බ්‍රහස්පතින්දා හමාස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, තමන් ඔක්තෝබර් ගිවිසුමට කැපවී සිටින බවත් ඊශ්‍රායලය "සටන් විරාමය තහවුරු කිරීම අරමුණු කර ගත් ජාත්‍යන්තර උත්සාහයන් අඩපණ කිරීමට" උත්සහ කරන බවටත් චෝදනා කළේ ය.

ඩාවෝස්හිදී අදහස් දක්වමින් ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් "ජනාධිපති ට්‍රම්ප්ගේ සහ ඔහුගේ නායකත්වයේ උත්සාහයන්" අගය කළේ ය. නමුත් ඔහු අනතුරු ඇඟවීය: "සැබෑ පරීක්ෂණය හමාස් ගාසා තීරයෙන් ඉවත් වීම" යැයි ඔහු කියා සිටියේ ය.

බටහිර ඉවුරේ කොටස් පාලනය කරන පලස්තීන අධිකාරියේ (PA) ජනාධිපති මහමුද් අබ්බාස්, ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීම ඇතුළුව සාම සැලැස්ම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත්, ගාසා තීරය පරිපාලනය කිරීමේදී පලස්තීන අධිකාරියට කේන්ද්‍රීය කාර්ය භාරයක් පැවරිය යුතු බවටත් ඉල්ලා සිටියේ ය.

මේ අතර, NCAGහි ප්‍රධානී අලි ෂාත් නිවේදනය කළේ, ඊජිප්තුව සමග රෆා දේශසීමා හරස් මාර්ගය ලබන සතියේ දෙපැත්තට ම ගමන් කිරීම සඳහා විවෘත කරන බව ය. 2024 මැයි මාසයේ සිට පලස්තීන පාර්ශවයේ පිවිසුම ඊශ්‍රායල හමුදා විසින් අල්ලා ගන්නා ලද දා සිට එය බොහෝ දුරට වසා දමා ඇත.

"රෆා විවෘත කිරීමෙන් ඇඟවෙන්නේ ගාසා තීරය අනාගතයට සහ යුද්ධයට තවදුරටත් වසා නොමැති බව යි," ඔහු පැවසීය.

2023 ඔක්තෝබර් 7 වන දින දකුණු ඊශ්‍රායලයට හමාස් සංවිධානය එල්ල කරන ලද ප්‍රහාරයත් සමග යුද්ධය ආරම්භ වූ අතර, එහිදී පුද්ගලයින් 1,200ක් පමණ මිය ගොස් තවත් 251 දෙනෙක් ප්‍රාණ ඇපයට ගනු ලැබූහ.

ඊශ්‍රායලය ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ගාසා තීරයේ හමුදා මෙහෙයුමක් ආරම්භ කළ අතර, එම කාලය තුළ පුද්ගලයින් 71,560කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.