'හමාස්' ත්‍රස්තවාදීන් යැයි කීම වැරදි බවට අධිකරණ තීන්දුවක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
පලස්තීනයේ හමාස් යනු ත්‍රස්තවාදී සංවිධානයක් බවට ලැයිස්තු ගත කරමින් කලින් දී තිබූ අධිකරණ තීන්දුවක් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් ඊජිප්තු අධිකරණයක් විසින් තීන්දුවක් දෙනු ලැබ තිබේ.
මුල් තීන්දුව දුන් අධිකරණය එසේ කිරීම සඳහා සුදුසුකම් නොතිබූ අධිකරණයක් ය යන පදනම මත එම තීන්දුව නිෂ්ප්‍රභා කරමිනුයි මෙම නව අධිකරණ තීන්දුව ලබා දී ඇත්තේ.
ඊජිප්තුව, ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ප්‍රධාන පෙළේ මැදිහත් කරුවෙකු ලෙස ක්‍රියාකළ රටක්.
එහෙත් වසර දෙකක ට පෙර ඉස්ලාම්වාදී ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මොර්සි ගේ ඉවත්ව යාමත් සමග හමාස් සංවිධානය සහ ඊජිප්තුව අතර සබඳතා අයහපත් අතට හැරුණි.
හමාස් යනු මොර්සි අයත්වුනු ‘මුස්ලිම් සහෝදරත්වය’ නමැති සංවිධානයේ ම තවත් අංකුරයක් බවට සැලකෙන අතර මේ වන විට ‘මුස්ලිම් සහෝදරත්වය’ යන්න ඊජිප්තුව තුළ තහනමට ලක්වූ සංවිධානයක්.




