ඇමෙරිකාව සහ මුස්ලිම් සහෝදරත්වය අතර සාකච්ඡා

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්

ඡායාරූප මූලාශ්‍රය, AFP

සිය ආසියානු සංචාරය දීර්ඝ කළ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් දැන් ඊජිප්තුවේ කයිරෝ නගරයට පැමිණ සිටියි.

ඇය මෙම ඊජිප්තු සංචාරයේ නිරත වන්නේ, මුස්ලිම් සහෝදරත්වයේ ජනාධිපති මොහමඩ් මොස්රි මුණ ගැසීමටයි.

ජනාධිපති, මොර්සි සමඟ පවත්වනු ලබන සාකච්ඡාවලදී ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන්, නව පාලනයෙන් සහතිකයක් ලබා ගැනීම හිලරි ක්ලින්ටන්ගේ උවමනාව යයි කයිරෝ නගරයේ සිටින බි බි සී නියෝජිතයා වාර්තා කරයි.

මුස්ලිම් සහෝදරත්වය නායකත්වය දෙන ඊජිප්තු නව පාලනයේ අවශ්‍යතාවය වී තිබෙන්නේ ඔවුන් ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා නොමැති බව සහතික කර ගැනීමයි.

මේ අතර, ශාන්තිකර කලාපයේ යුද ශක්තිය මුල් කරගනිමින් කුපිතකාරී ගැටුමකට නොඑන ලෙස චීන රාජ්‍ය මාධ්‍ය ඇමෙරිකා එක්සත් ජනපදයට අනතුරු ඇඟවීමක් කර ඇත.

ෂින්හුවා චීන රාජ්‍ය පුවත් සේවය ප්‍රකාශ කළේ, ඇමෙරිකානු රාජ්‍යලේකම් හිලරි ක්ලින්ටන්, සිය ආසියානු සංචාරයේදී රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් චීනය කොටුකිරීමේ ප්‍රයත්නයක නිරත වෙමින් සිටින බවයි.

ඇමෙරිකානු රාජ්‍යලේකම්වරිය කෙළින් ම නොව වක්‍ර ආකාරයට, චීන පාලනය නිතරම විවේචනයට ලක් කරනවාක් මෙන්ම, චීනය සහ එරට අසල්වැසි රටවල් අතර, මුහුදු සීමා සම්බන්ධයෙන් පවතින ආරාවුලට ඇය අතපොවන බව, ෂින්හුවා චීන රාජ්‍ය පුවත් සේවය පෙන්වා දෙයි.

පසුගිය වසරේ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශයක් කරමින්, ශාන්තිකර කලාපයේ තම යුද බලය තවත් නංවා ලන අතරම, සිය ආසියානු සගයන් සමඟ සම්බන්ධතා ශක්තිමත් කරන බවක් කියා තිබුණි.