බස් රථයකදී තමන්ට ලිංගික හිරිහැර කළ බවට කාන්තාවක මුදා හළ වීඩියෝවකින් පසු පුද්ගලයෙකු සියදිවි නසා ගනියි: කාන්තාව අත්අඩංගුවට

ඡායාරූප මූලාශ්‍රය, Screenshot
- Author, ඉම්රාන් කුරේෂි
- Role, බීබීසී හින්දි
- වාර්තාකරණය, Bengaluru
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ බස් රථයක් තුළ නුසුදුසු ලෙස කාන්තාවක් ස්පර්ශ කළ බවට චෝදනා කිරීම හේතුවෙන් පිරිමියෙකු සියදිවි නසාගෙන ඇති අතර, එම චෝදනා එල්ල කළ කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
කාන්තාව විසින් සමාජ මාධ්‍යට එක් කළ වීඩියෝවක් වේගයෙන් සංසරණය වීමෙන් අනතුරුව එම පුද්ගලයා අන්තර්ජාලය ඔස්සේ හිරිහැරයට මුහුණ දුන් බවට චෝදනා එල්ල කරමින් ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකින් පසුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
ෂිම්ජිතා මුස්තාෆා නමැති 35 හැවිරිදි මෙම කාන්තාව බස් රථයකදී ඇය රූගත කළ වීඩියෝවක් පළ කර තිබූ අතර, එය සාක්ෂියක් ලෙස ඉදිරිපත් කරමින් ඇය පැවසුවේ 42 හැවිරිදි දීපක් යූ තමාගේ පියයුරක් වැළමිටෙන් ස්පර්ශ කළ බවයි.
ජනාකීර්ණ පොදු ස්ථානවල කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම බහුලව සිදුවන රටක් වන ඉන්දියාවේ, මෙම වීඩියෝවට දැඩි ප්‍රතිචාර හිමිවූ අතර, බොහෝ දෙනෙක් දීපක්ව විවේචනය කළහ. දින දෙකකට පසු, ඔහු සියදිවි නසාගෙන මිය ගියේ ය.
දීපක්ගේ මිතුරන් සහ පවුලේ සාමාජිකයින් පවසන්නේ ලිංගික හිරිහැර සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා ඔහු ප්‍රතිකෂේප කර තිබූ බව සහ ඔහු නිර්දෝෂී අයෙකු බව යි. "සමාජ මාධ්‍ය නඩු විභාගයක්" ලෙස ඔවුන් විස්තර කළ එම සිදුවීමෙන් ඔහු කලබලයට පත් වූ බව ද ඔවුහු පැවසූහ.
ප්‍රාදේශීය දේශපාලන පක්ෂයක් වන ඉන්දියානු යුනියන් මුස්ලිම් ලීගය සමග සම්බන්ධ වී කටයුතු කරන සමාජ මාධ්‍ය අන්තර්ගතයන් නිර්මාණකරණයේ නිරත වන මුස්තාෆා ප්‍රසිද්ධිය සහ අනුගාමිකයින් එක් කර ගැනීම සඳහා වීඩියෝව භාවිතා කළ බවට පවුලේ සාමාජිකයෝ චෝදනා කළහ. අත්අඩංගුවට ගැනීමට පෙර පල කරන ලද තවත් වීඩියෝවක මුස්තාෆා එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින්, "බරපතල සමාජීය හා මානසික ගැටලුවක් ඉස්මතු කිරීම සඳහා" පළමු වීඩියෝව පටිගත කර පළ කළ බව පැවසුවා ය.
දීපක්ගේ මව විසින් පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිසිය මුස්තාෆාට එරෙහිව නඩුවක් ගොනු කර සියදිවි නසා ගැනීමට අනුබල දීම සම්බන්ධයෙන් ඇප ලබා දිය නොහැකි පරිදි චෝදනාවක් ගොනු කළේ ය. ජනවාරි 20 වන දා අධිකරණයේ අධීක්ෂණයට යටත්ව ඇය දින 14ක් සඳහා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.
කේරළ ප්‍රාන්තයේ මානව හිමිකම් කොමිසම ද, ප්‍රාන්තයේ කොලිකෝඩ් දිස්ත්‍රික්කයේ පොලිසියට සතියක කාලයක් තුළ ඔවුන්ගේ විමර්ශන වාර්තාව ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
42 වන වියට පා තැබීමෙන් දිනකට පසු එනම් ජනවාරි 18 වන දින සිදුකර ගෙන තිබූ දීපක්ගේ සියදිවි නසා ගැනීම ඉන්දියාව තුළ දැවැන්ත විරෝධයකට තුඩු දුන් අතර, පවුලේ සාමාජිකයෝ, මිතුරෝ සහ පුර්ෂ අයිතිවාසිකම් ක්‍රියාකාරීහු ඔහුට සහාය පළ කරමින් අදහස් පළ කළහ.
"කාන්තාවකට තියා කිසිම කෙනෙකුට නරකක් නොකළ දීපක් ගොඩක් හොඳ කෙනෙක්," ඔහුගේ මිතුරෙකු වන අස්ගර් බීබීසී හින්දි සේවයට පැවසුවේ ය.
රෙදිපිළි සමාගමක අලෙවි නියෝජිතයෙකු ලෙස සේවය කළ දීපක් ජනවාරි 15 වන දා කොලිකෝඩ් වෙත ආපසු යමින් සිටි තිබේ.
මෙම සිදුවීමෙන් අනතුරුව දීපක් "දැඩි ලෙස කම්පාවට පත්ව සිටි" බව අලී පැවසූ අතර, මගීන්ගෙන් පිරී පැවැති බස් රථයේ ඔහුට පිටුපසින් සිටියේ කවුද යන්න බැලීමට පවා නොහැකි ලෙස විඩාවට පත්ව සිටි බව ද දීපක් ඔහුට පවසා තිබිණි.
මුස්තාෆාට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නීතිඥයෙකු හමුවීමට තමන් කටයුතු කරන බව දීපක් තමන්ට කියා සිටි බව ද අලී තවදුරටත් පැවසුවේ ය.
"එයා පවුලේ එක ම දරුවා. එයාගේ දෙමව්පියන්ට කතා කරගන්නවත් බෑ. එයාගේ අම්මාගේ සෞඛ්‍ය තත්ත්වයත් ඒ තරම් හොඳ නැහැ," දීපක්ගේ ඥාති සොහොයුරා වන ජිජිල් විජේ පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Asgar Ali
දීපක්ගේ මරණයෙන් අනතුරුව මුස්තාෆා දෙවන වීඩියෝවක් ද පළ කළ අතර තමන් ගමන් කළ බස් රථයේදී දීපක් "ලිංගික සීමාව ඉක්මවා ගිය" බවට චෝදනා කළා ය. "ඒක අත්වැරදීමකින් හෝ වැරදි වැටහීමක් නිසා හෝ සිදු වුණු දෙයක් නෙමෙයි," ඇය පැවසුවා ය.
දීපක් සිදු කළ බව පැවසෙන ක්‍රියාව හේතුවෙන් තමන් ඉදිරියේ සිටි තවත් තරුණියක් කලබලයට පත්ව සිටින අයුරු දුටු බැවින්, එම වීඩියෝව පටිගත කළ බව ඇය තවදුරටත් පැවසුවා ය. "ඉතිං, මම කැමරාව ඔන් කරලා ඔහු කරපු දේ වීඩියෝ කරන්න ගත්තා. ඔහු දැක්කා මම වීඩියෝ කරනවා කියලා. ඒ වෙලාවෙදි ඔහු හෙලවෙන්නේ නැතුව හිටියා"
මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ උණුසුම් කතිකාවක් නිර්මාණය කර ඇති අතර පරිශීලකයින් විවිධ අදහස් පළ කර ඇත.
"කාන්තාවන්ගේ පියයුරු වැලමිටින් ස්පර්ශ කිරීම විකෘති කාම ආශාවන් ඇති පුද්ගලයන් විසින් කාලයක් පුරා භාවිත කළ උපායක්. "මම නව යොවුන් වියේ සිටියදී පවා, බය හිතෙන විදිහට මගේ පන්තියේ මිතුරන් පාරේ ඇවිදින හෝ පොදු ප්‍රවාහනය භාවිතා කරන ඕනෑ ම ගැහැණු ළමයෙකුට මේක කරන්න පුළුවන් විදිහ පෙන්නුවා," X පරිශීලකයෙකු වන ජේසන් පිලිප් සටහන් කර තිබිණි.
"පිරිමින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් 'සමාජ මාධ්‍යවල කාන්තාවන් පතුරු ගසමින්' සිටිය ද තමන්ට හැඟෙන පරිදි තමන් ලිංගික අඩම්තේට්ට්මක් ලෙස සැලකූ සිදුවීම වීඩියෝ කිරීමට ඇයට සම්පූර්ණ අයිතියක් තිබුණා," ඔහු සඳහන් කළේය.
"සමාජ මාධ්‍ය නඩු විභාගයකින් තරුණයෙකු මරා දැම්මා" යනුවෙන් තවත් පරිශීලකයෙකු වන සුරාජ් කුමාර් බවුද්ගේ සටහනකට ප්‍රතිචාර දක්වමින් පිලිප් මෙම සටහන පළ කර තිබිණි. වීඩියෝව මගින් ලිංගික හිරිහැරයක් සිදුවූ බව නිශ්චිතව ම තහවුරු කර නොමැති බවත්, "ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත්වීම සහ චරිත ඝාතනය ඉවසා සිටිය නොහැකි වීම" නිසා දීපක් සියදිවි නසා ගත් බව ද බවුද් තර්ක කළේය.
වීඩියෝව නැරඹීමෙන් පසු, පොදු ස්ථානවලදී ලිංගික හිරිහැරවලට හෝ අඩම්තේට්ටම්වලට ලක් වූ කාන්තාවන් රැසක් ද සිය අත්දැකීම් බෙදාගෙන තිබේ. තවත් පිරිසක් ප්‍රශ්න කර ඇත්තේ අදාළ පුද්ගලයාට මුහුණට මුහුණ ප්‍රතිචාර දැක්වීම හෝ පොලිසියට පැමිණිලි කිරීම වෙනුවට මුස්තාෆා එය වීඩියෝ කර සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ ඇයි ද යන්නයි.














