ප්‍රසිද්ධ යුවළකගේ පොඩ්කාස්ට් වැඩසටහනකට එල්ල වූ සමාජ මාධ්‍ය විරෝධය: කාන්තා හිංසනයක් යනු කුමක් ද? වින්දිතයන්ට වරද පැටවිය හැකි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
කාන්තාවන්, පිරිමින් අතින් හිංසනයට ලක්වීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු වන සජීව් රාජපුත්‍ර සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.
ඔහු සහ ඔහුගේ බිරිඳ සහභාගී වූ පොඩ්කාස්ට් වැඩසටහනක සංස්කරණය කළ මිනිත්තුවක පමණ වීඩියෝ කොටසක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ එලෙස පළ කර තිබූ අතර, එහි ඔහුගේ බිරිඳ විසින් කාන්තා හිංසනයන් සිදු වන ආකාරය පිළිබඳ සිදු කරනු ලබන ප්‍රකාශයක් මෙලෙස දැඩි විවාදයකට තුඩු දී ඇත.
එම ප්‍රකාශය වින්දිතයන් මත වරද පැටවීමක් බවට පවසමින් සමාජයේ විවිධ රැකියා සිදු කරන විවිධ තලවල ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවය ම සිය පෞද්ගලික අත්දැකීම් ද ගැන ද සඳහන් කරමින් විවේචනය කර තිබිණි.
පසුව ඔවුන් එම වීඩියෝව ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති බවට නිරීක්ෂණය විය.
වීඩියෝවේ සඳහන් ප්‍රකාශය කුමක් ද?
"අද ඔෆිස් ගිහිල්ලා එන ගෑනු කෙනෙකුගෙන් බස් එකේ යන ඩිංගටවත් යන්න බෑ කියන කරණාවල්, එමට දේවල් තියෙනවානේ අපේ සමාජයෙන් එහා ගිය. එතකොට ඒක ඇතුළේ මම කතා කළොත්, කිව්වොත්, කොයි වෙලාවකවත්, පිරිමියෙක් මොන උවමනාව තිබ්බත් ගෑනියෙක්ගේ එක බැල්මක්, ඇඳුමකින් හරි සිග්නල් එකක් නැත්නම්, කිසි ම පිරිමියෙක්... රේප් කිරීම වෙන දෙයක්. බලෙන් ගෙන යාමක්නේ එතකොට. ඒක නැතුව කිසිම පිරිමියෙකුගෙන් ගෑනියෙකුට කරදරයක් වෙන්නේ නෑ.
එහෙම නැතුව බලහත්කාරයෙන් කිරීම කියන දේ ඉතින් අපිට තර්ක කරන්න බෑ. ඊට අමතරව අපි දෙන සිග්නල්වලින්මයි අපි එතනට වැටෙන්නේ.
හැබැයි අපේ ගෑනු, ඒ හැකියාව තියෙනවා කියන එකෙන් ආත්මතෘප්තියක් කර ගන්නවා. ඒක නොකරන ගෑනිට කවුරුත් අටෙන්ෂන් නෑ, එහෙම කෙනෙක් නිසා නෙමේ, එයාට එක ඕන නැති හින්දා. ඒක ඕනේ නැති නිසා එයා තැන්පත් විදිහට ජීවත් වෙන්නේ.
හෙට උදේ එයාට පුළුවන් ස්කිනි එකක් ගහගෙන හරි මොනවා හරි කරගෙන අවුස්සගන්න. ඕනෑ ම ගෑනියෙකුට ඒක පුළුවන් කරන්න. හැබැයි නොකරන්නේ තමන්ට අවශ්‍ය නැති නිසා. දැන් මේ අනිත් හැම ගෑනි ම ඒක ඇඳගෙන ගිහිල්ලා කවුරු හරි එහෙන් මෙහෙන් බැලුවා ම ඒකෙන් ගන්න ආත්මතෘප්තියට එයා පොර කියලා හිතන්නේ. රෑ ඉවෙන්ට්ස් හැම තැනක ම මම දකින දෙයක් තමයි මේ අඳින්න කියන දේ, තමන්ගේ මහත්තයට ඒක ලකුණක් නෙමෙයි."
මේ, සජීව් රාජපුත්‍රගේ බිරිඳ ආදාළ වීඩියෝවේ සිදු කළ ප්‍රකාශයේ උපුටා ගැනීමකි.
කාන්තා හිංසනයක් යනු කුමක් ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2025 මාර්තු 5 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව භාරව එවකට වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ රේණුකා ජයසුන්දර කාන්තා හිංසනය අර්ථ දැක්වූයේ මෙසේ ය.
"දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තියට එක්වුණු නව සංශෝධන අනුව, කෙනෙකුගේ කැමැත්ත නොමැතිව ලිංගිකත්වය අරමුණු කරගෙන සිදු කරන අඩන්තේට්ටමක්, වාචික, කායික හෝ මානසිකව වෙන එවැනි සිද්ධියක් නිසා යම් කෙනෙක් ලැජ්ජාවට, අප්‍රසන්තාවට, බියට පත්වෙනවා නම් එතන ලිංගික අතවරයක් වෙලා තියෙනවා."
පොදු ප්‍රවාහන සේවයේදී සිදුවන හිංසන ද ඒ අනුව කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන ලෙස අර්ථ දැක්විය හැකි බව නියෝජ්‍ය පොලිස්පතිවරිය පැහැදිලි කළා ය.
"අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමකින්, ඇය සම්බන්ධයෙන්, ඇගේ ශරීරයේ කොටසක් සම්බන්ධයෙන් කරන වාචික ප්‍රකාශයකින් කාන්තාව ලැජ්ජාවට, අපහසුතාවට, අප්‍රසන්නතාවකට පත්වෙන හැම සිදුවීමක් ම ලිංගික අතවරයක් වෙනවා."
පසුගිය වසරේ එක් මසක් තුළ පමණක් පොලිසියේ උපාය දූතයන් බස් රථවල යෙදවීමෙන් සැකකරුවන් 35 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර එහිදී පැවසුවා ය.
පොලිසිය එම සිදුවීම්වලින් අනාවරණය කර ගත් ආකාරයට සහ දෛනිකව ලැබෙන පැමිණිලි නිරීක්ෂණය කිරීමේදී මෙම සිදුවීම් සිතාමතා කරන හිංසනයන් බවට නිරීක්ෂණය වන බව ඇය සඳහන් කළා ය.
"පොදු ප්‍රවාහනයේ තියෙන තදබදය නිසා හෝ අනෙකුත් ප්‍රශ්න නිසා ඇති වෙන දෙයක් නොවෙයි. හිතාමතා කාන්තාවකගේ පෞද්ගලිකත්වයට තියෙන අයිතිය ඉක්මවලා යාමක් මෙතනදි සිදුවෙන්නේ. බස් රථයට නංවා ගන්න තැන ඉඳලා මේක වෙනවා. අපි ගියත් කොන්දොස්තර අල්ලලා තමයි බස් එකට නග්ග ගන්නේ ම."
කෙසේ නමුත්, වර්තමානය වන විට මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කාන්තාවන් වැඩි වශයෙන් පෙළඹෙන බව නිරීක්ෂණය වන බව ඇය පැවසුවා ය.
"2023 වසරේ වාර්තා වෙලා තියෙන කාන්තා හිංසන 2,252න් 262ක් පොදු ප්‍රවාහනයේදී සිදුවෙලා තියෙන්නේ. 2024 වසරේදී වාර්තා වූ කාන්තා හිංසන පැමිණිලි 2,785කින් 289ක් පොදු ප්‍රවාහනයේදී සිදුවූ හිංසන."
එමෙන් ම, මෙවැනි සිදුවීම් දිගින් දිගට ම සිදුවීම සමාජය තුළ කාන්තාව සම්බන්ධයෙන් මුල් බැසගෙන තිබෙන වැරදි අදහස නිසා සිදුවන්නක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ මහාචාර්ය ෆාරා හනීෆා 2025 මාර්තු 5 වන දා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා ය.
"අපි බස් එකක යන විට හිරිහැරයක් සිදුවීම කියන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. මෙවැනි හිරිහැරයකට භාජනය වීම සෑම ස්ත්‍රියකට ම ලැබිලා තියෙන අත්දැකීමක්. ඒක දැන් සාමාන්‍යකරණය වෙලා තියෙන නිසා අපට කියන්න බෑ, ඒක තනි පුද්ගලයෙකුගේ හේතුවක් නිසා වෙන දෙයක් කියලා," ඇය පැවසුවා ය.
"අපි සමාජය දිහා බැලුව ම පුරුෂයෙකුට ස්ත්‍රියකට මෙහෙම සලකන්න පුළුවන් කියලා ලයිසන් එකක් දීලා තියෙනවා වගේ එකක් තියෙනවා."
සමාජය තුළ නිතර දක්නට ලැබෙන ආදර්ශයන් මෙම තත්ත්වය ඇති කිරීමට අවශ්‍ය මනෝභාවයට බලපා ඇතැයි ඇය පැවසුවා ය.
සමාජ මාධ්‍යවලින් එල්ල වන විරෝධය
මේ වන විට බොහෝ දෙනෙකු සිය පෞද්ගලික අත්දැකීම් ගැන සඳහන් කරමින් සජීව් රාජපුත්‍රගේ බිරිඳ සිදු කළ ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කර තිබේ.
ශෙනූ පෙරේරා මේ සම්බන්ධයෙන් ෆෙස්බුක්හි තැබූ සටහනක් පහතින් දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | SHENU PERERA
අමාවී සිල්වා ද මේ සම්බන්ධයෙන් ෆෙස්බුක් සටහනක් තබා තිබූ අතර එහි මෙලෙස සඳහන් වේ.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | AMAVI SILVA
මේ, එම සටහනේ ඉතිරි කොටසයි.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | AMAVI SILVA
එමෙන් ම වින්දිතයා මත වරද පැටවීම සම්බන්ධයෙන් ද ඇතැම් අය විවේචනය කර ඇති ආකාරය නිරීක්ෂණය විය.
![ෆෙස්බුක්හි ඉංග්‍රීසියෙන් තැබූ සටහනක්. එහි මේ සඳහන් වේ.
මේ වීඩියෝව මුලින් ම බලන්න.
එතකොට ඔයාට තේරෙන්න පටන් ගන්නවා "ඔවුන් කොච්චර මෝඩ ද, මනසක් නැති ද!" කියලා.. මේ සමාජ මාධ්‍ය පුද්ගලයින් කියන අය සංවේදී මාතෘකා ගැන තමන්ගේ පෞද්ගලික අදහස් ප්‍රකාශ කරන එක නිරීක්ෂණය කරලා ඇගයීමකට ලක් කරන්න ඕනේ මේ නිසා!
ඔවුන් කිව්වා වගේ ඔවුන් හරිම ජාත්‍යන්තරයි, හරිම විවෘතයි, නමුත් [ඔවුන්ට] මූලික කරුණු ගැනවත් අදහසක් නැහැ!
මෙතන දකින්න තියෙන කැතම දේ තමයි, වැරදි දේවල් පෙන්නලා "වින්දිතයා!" මත දොස් පැවරීම!
දූෂණයකදී, කිසිම ගොදුරක් වැරදි නැහැ, කිසිම ගොදුරක් තමන් ගොදුරක් කියලා පෙන්නලා දීලා නැහැ, අපරාධකරුවන් වැරදියි සහ දොස් පැවරිය යුතු බව අනිවාර්ය දෙයක්!
මතක තියාගන්න, ලිංගික ශ්‍රමිකයෙකුව පවා දූෂණය කළ හැකියි! ඒක ඒ තරම් සංකීර්ණ නෙවෙයි!
දූෂණය, අපයෝජනය, විෂමාචාරය හෝ හිරිහැර.. සියල්ල සිදුවන්නේ වරදකරුගේ වැරදි හැසිරීම නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ!](https://ichef.bbci.co.uk/ace/ws/640/cpsprodpb/9419/live/0c1b7530-c535-11f0-bf7b-db7c049674ab.png.webp)
ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | BUVANAKA DE SILVA
ඉංග්‍රීසි භාෂාවෙන් පල කර ඇති එම සටහනේ, "මෙතන දකින්න තියෙන කැත ම දේ තමයි, වැරදි දේවල් පෙන්නලා "වින්දිතයා! මත දොස් පැවරීම!," යනුවෙන් සඳහන් කර ඇත.
"දූෂණයකදී, කිසි ම ගොදුරක් වැරදි නැහැ, කිසි ම ගොදුරක් තමන් ගොදුරක් කියලා පෙන්නලා දීලා නැහැ, අපරාධකරුවන් වැරදියි සහ දොස් පැවරිය යුතු බව අනිවාර්ය දෙයක්!"
"මතක තියාගන්න, ලිංගික ශ්‍රමිකයෙකුව පවා දූෂණය කළ හැකියි!," ඔහු පවසයි.
"දූෂණය, අපයෝජනය, විෂමාචාරය හෝ හිරිහැර... සියල්ල සිදුවන්නේ වරදකරුගේ වැරදි හැසිරීම නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ!," බුවනක ද සිල්වා අවධාරණය කර තිබේ.
'ඇය කුමක් ඇඳ සිටියත් ප්‍රචණ්ඩත්වය පිළිගන්න බෑ'
කාන්තාවන්ට එරෙහිව සිදු වන අපරාධවලදී එම වින්දිතයන් මත වරද පැටවීම සිදු නොකළ යුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක් පෙන්වා දී තිබේ.
නොවැම්බර් 25 වන දිනට යෙදෙන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව එවකට මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කළ නවී පිල්ලේගේ 2013 වසරේ නිකුත් කළ ප්‍රකාශයක ද මේ බව දැක්වේ.
එහි, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිගන්නා සහ එය ඔවුන්ට සිදු විය යුතු දෙයක් බවට සිතන, පුද්ගල සමාජභාවය සම්බන්ධ ඒකාකෘතීන් ඉවත් කිරීමට සියලු දෙනා එක්ව වැඩ කළ යුතු බවට දැක්වේ.
එමෙන් ම ඇය පෙන්වා දී තිබෙන්නේ කාන්තාව කුමක් ඇඳ සිටියත් ප්‍රචණ්ඩත්වය කිසිසේත් ම පිළිගත නොහැකි බව ය.
වරක් බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර පැවති ප්‍රදර්ශනයක විවිධ පුද්ගලයන් දූෂණයට ලක්වූ අවස්ථාවේ ඔවුන් ඇඳ සිටි ඇඳුම් ප්‍රදර්ශනය කර තිබුණේ, ඇඳුම් ප්‍රචණ්ඩකාරී ලිංගික අපරාධ සඳහා සාධකයක් වන බවට පවතින 'මිථ්‍යා මතයට' ප්‍රතිචාරයක් වශයෙන් ය.
එහි ඉතා කුඩා ළදරුවන්ගේ ඇඳුම් ද විය. දිගු සායවල්, දිගු කලිසම් ආදී සියලු ආකාරයේ ඇඳුම් එහි ප්‍රදර්ශනය කර තිබිණි.
UN Women සංවිධානය විසින් 2024 වසරේ නිකුත් කරනු ලැබ ඇති පැහැදිලි කිරීමක, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට ඔබට කළ හැකි දේවල් 10ක් දක්වා තිබේ.
එහි පළමුවන කරුණ යටතේ පැහැදිලිව ම දක්වා ඇති කරුණක් වන්නේ, යම් කාන්තාවක ඔබට ඇය මුහුණ දුන් ප්‍රචණ්ඩත්වයක් ගැන පවසනවා නම් ඇය එම අපයෝජන චක්‍රයෙන් මිදීමට පළමු පියවර ගෙන ඇති බව ය.
ලිංගික හිංසනය පිළිබඳ සිද්ධීන් සාකච්ඡා කිරීමේදී, වින්දිතයාගේ සන්සුන්භාවය, ඇඳුම් පැළඳුම් සහ ලිංගිකත්වය අදාළ නොවන බව මතක තබා ගැනීම වැදගත් බව එමගින් පෙන්වා දී තිබේ.
එම අපරාධයට එක ම හේතුව අපරාධකරු වන අතර, එහි වගකීම එම පුද්ගලයා තනිව දැරිය යුත්තක් බව එම ආයතනය පෙන්වා දෙයි.
මේ නිසා වින්දිතයා මත වරද පැටවීම හෝ, සම්ප්‍රදායිකව "භයානක" යැයි සලකන තත්ත්වයන් වළක්වා ගැනීමේ වගකීම කාන්තාව සතුව පවතින බවත් වන මතයට එරෙහි වන ලෙස ද ඉන් ඉල්ලා සිටියි.
පැමිණිලි කළ හැකි දුරකතන අංක
කාන්තාවන්ට එරෙහි මෙවැනි ආකාරයේ හිංසනයක් සිදුවන්නේ නම් පහත දුරකතන අංක අමතා ඒ සම්බන්ධයෙන් පැමිණිලි යොමු කිරීමේ හැකියාව තිබේ.
- 1938 - කාන්තා උපකාරක සේවය
- 109 - ළමා හා කාන්තා හදිසි ඇමතුම්
- 119 - පොලිස් හදිසි ඇමතුම්
පොදු ප්‍රවාහන සේවයකදී එවැනි දෙයක් සිදු වන්නේ නම් ඔබට පහත අංක ඇමතීමේ හැකියාව ද පවතියි.
- 1955 - ජාතික ගමනාගමන කොමිෂන් සභාව
- 1958 - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
- 1971 - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව














