නව ව්‍යවස්ථාව: ජනතාව දැනුවත් නොකළොත් 'භයානක තත්වයක්'

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ප්‍රයත්නය කෙරෙහි ජනතා අවධානය යොමුකර ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකළහොත් කොළොම්බියානු ජනතාව විසින් සාම ගිවිසුම ප්‍රතික්ෂේප කිරීම වැනි තත්ත්වයක් මතුවිය හැකි බවට පර්යේෂණ ආයතනයක් අනතුරු අඟවයි.
එම පුරෝකතනයේ යෙදෙන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ඊට සපයන තවත් උදාහරණයකි.
නව ව්‍යවස්ථා සම්පාදනයක් පිළිබඳ පූර්ණ වශයෙන් දැනුවත්ව සිටිනුයේ ජනගහණයෙන් 1.1% ක් පමණක් බව සිය සමීක්ෂණයකදී හෙළිවීමත් සමග විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙම අනතුරු ඇඟවීම කරන ලදි.
විශේෂයෙන් ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ සිට රට තුළ සංවාදයක් පවතින අතර, මහජන අදහස් විමසීමේ කමිටුව මාස කිහිපයක් රට පුරා සංචාරය කිරීමෙන් අනතුරුව ද ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් නොවීම ඉතා බරපතල තත්ත්වයක් බව, පර්යේෂණය මෙහෙය වූ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ඉරෝමි පෙරේරා බීබීසී සංදේශයට පැවසීය.
"ආණ්ඩුවයි, ව්‍යවස්ථා සම්පාදනයේ නිරත වෙලා ඉන්න කට්ටියයි හොඳට හිතල බලන්න ඕන ඒගොල්ලන්ගේ සන්නිවේදන ක්‍රමවේදය ගැන," ඇය සඳහන් කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Inpho
ජනගහණයෙන් 1.1% ක් පමණක් ඒ පිළිබඳව දැනුවත් වීම 'ඉතා භයානක තත්ත්වයක්' බව පර්යේෂිකාව පෙන්වා දෙන්නීය.
"මොකද අපි අන්තිමට ජනමත විචාරණයකට යනවනේ."
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පර්යේෂණයට අනුව, ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ ක්‍රියාදාමයක් පවතින බව ජනගහනයෙන් 70% කට ආසන්න පිරිසක් නොදනිති.
මහජන අදහස් විමසීම පිණිස නීතිඥ ලාල් විජේනායකගේ නායකත්වයෙන් පත්කරන ලද කමිටුවට ලබා දුන් මාස තුනක කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව, පර්යේෂිකා ඉරෝමි පෙරේරා සඳහන් කළාය.
"තව දෙයක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිවුවහම අපිට එක පාරටම තේරෙන්නේ නැහැ ඒ මොකක්ද කියල. ඒකීය රාජ්‍යය කිවුවත්, බලය විමධ්‍යගත කිරීම කිවුවත් බහුතරයකට ඒවා වචන විතරයි."

යළිත් වරක් ජනතා අදහස් විමසීමේ ක්‍රියාදාමයක් දියත් කිරීමට දැන් ප්‍රමාද වැඩි බැවින්, සම්මත ක්‍රියාදාමයෙන් ඔබ්බට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බව ඇය අවධාරණය කරන්නීය.
"උදාහරණයක් ගත්තොත් හොඳ විදියක් තමයි ජනතාව දැනුවත් කරන්න ටෙලි ඩ්රාමා එකක් කරන එක," ඉරෝමි පෙරේරා පවසයි.
"මොකද ජනමත විචාරණයට ගියාම මිනිස්සු දන්නේ නෑ එයාල ඔව්, නෑ කියන්නේ මොකටද කියල."
ව්‍යවස්ථාවක් හෝ අලුත් යෝජනාවකට එරෙහිව ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීම ඉතා පහසු බව පෙන්වා දෙන පර්යේෂිකාව, එයට පක්ෂව ජනතාව දැනුවත් කිරීම ඉතා දුෂ්කර කාර්යයක් බව වැඩිදුරටත් පවසන්නීය.
"මේ යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන දුර්වලතාවයක් තමයි ජනතාව තවමත් 2015 ජනවාරි හිටපු මතයේ ඉන්නවා කියල හිතාගෙන ඉන්න එක."
බලය බෙදීම, ඒකීය රාජ්‍ය වැනි කරුණු පිළිබඳව මෙන්ම විශේෂයෙන්ම ව්‍යවස්ථාවෙන් බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනකොටස් අතර ප්‍රබල විසංවාදයක් පවතින බව සමීක්ෂණයෙන් හෙළි වී තිබෙන තවත් ප්‍රධාන කරුණකි.








