නව ව්‍යවස්ථාවට මහජන යෝජනා පන්දහසක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම උදෙසා මහජන අදහස් ලබාගැනීම සඳහා පත් කර ඇති කමිටුවට මේ වන විට පන්දහසකට අධික අදහස් සංඛ්‍යාවක් ලැබී තිබෙන බව කමිටුව පවසයි.
කමිටුවේ සභාපති නීතිවේදී ලාල් විජේනායක පවසන්නේ නව ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීම් කටයුතු ලබන 31 වෙනිදා අවසන් කිරීමට තීරණය කර ඇති බවයි.
මේ දිනවල කමිටුව විසින් තෝරා ගත් පුද්ගලයින්ගෙන් අදහස් සටහන් කර ගැනීම සිදු කරන බව කී ඔහු මේ යටතේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයාගේ අදහස් සටහන් කර ගෙන ඇති බවයි කියා සිටියේ.
“මේ යටතේ අපි දේශපාලන පක්ෂ නායකයින්, ආගමික නායකයින් ,සහ වෘත්තීය සමිති නායකයින්ගෙන් අදහස් සටහන් කර ගැනීම සිදු කරනු ලබනවා. ඊට අමතරව ප්‍රධාන ඇමතිවරුන්ගෙන්ද අදහස් ලබාගැනීමට අපි ක්‍රියා කළා.” සිය කමිටුවේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරමින් ලාල් විජේනායක කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, gosl
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කථා කිරීමේ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මාතෘකාවට හිමි වන්නේ සුවිශේෂ තැනකි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් රට පුරා ජනතාව දක්වා ඇති අදහස් පිළිබඳ විමසූ විට නීතිවේදී ලාල් විජේනායක කියා සිටියේ ජනතාව විසින් ඉදිරිපත් කර ඇත්තේ මිශ්‍ර අදහස් බවයි.
“ඇතැම් පිරිස් කියා සිටියා විධායක ජනාධිපති තනතුර මුළුමනින් ම අහෝසි කළ යුතුයි කියලා. තවත් පිරිසක් කියා සිටියා එහි බලතල කප්පාදු කර ඒවා පාර්ලිමේන්තුවට පැවරිය යුතු බවට. මේ වගේ මිශ්‍ර අදහස් තමා ජනතාවගෙන් ඉදිරිපත් වුනේ.” නීතිවේදී විජේනායක පැවසීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අදහස් අඩංගු අවසන් වාර්තාව අප්‍රේල් මස අවසාන භාගයේ දී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.








