ඔබේ අදහසටත් ව්‍යවස්ථාව විවෘතයි

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයේ දී මහජනතාව ද සහභාගී කර ගනිමින් ඔවුන්ගේ අදහස් සැලකිල්ලට ගනු ලැබීමට පියවර ගෙන තිබීම වැදගත් කරුණක් වන බව ප්‍රවීණ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාර්යයේ දී සමාජ මාධ්‍ය මගින් මහජනතාවට ද අදහස් දැක්වීමට දී ඇති අවස්ථාව පිළිබඳව බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීයි ඔහු එම අදහස් ඉදිරිපත් කළේ.
සමාජ මාධ්‍ය ජාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සඳහා දායක වීමට ඇති එක විධි ක්‍රමයක් පමණක් බවත් මාධ්‍යවේදී නාලක ගුණවර්ධන පවසයි.
නව ව්‍යවස්ථාව සඳහා මහජන මතය විපරම් කිරීමට පත් කෙරුණ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් ද ඇතුළු විද්වතුන් ඇතුළත් කමිටුමක් මහජන අදහස් විමසීමට දිස්ත්‍රික්ක මට්ටමින් වාචික සැසි පැවැත්වීමට පියවර ගනිමින් ඇති බව සිහිපත් කළ නාලක ගුණවර්ධන තැපෑලෙන් විද්‍යුත් තැපෑලෙන් සහ ෆැක්ස් මගින්ද ඔවුන්ට අදහස් යොමු කළ හැකි බවයි සඳහන් කළේ.
සමාජ මාධ්‍ය ජාලය මගින් ද නව ව්‍යවස්ථාව සඳහා අවකාශ ලබා දී තිබෙන්නේ එම සියලු අංග වලට අතිරේකව බවත් ඔහු පෙන්වා දෙයි.
පාලක පාලිත ගනුදෙනුව
‘ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් අන්තර්ජාලය පාවිච්චි කරන්නේ 25% ක් එහෙමත් නැත්නම් මහජනයාගෙන් හතරෙන් එකක් පමණයි. එයිනුත් සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ අඩු පිරිසක්. ‘ෆේස්බුක්’ ගිණුම් ලක්ෂ තිහක් පමණ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. මෙයින් කැමති ක්‍රමයක් යොදා ගනිමින් මහජනයාට ඔවුන්ගේ අදහස් විද්වත් කමිටුවට යොමු කරන්න පුළුවන් කම තියෙනව’ නාලක ගුණවර්ධන පවසයි.
ඉහත කී කිසිදු පහසුකමක් නොවේනම් ලිපියක් ලියා තැපැල් කිරීම මගින් සිය අදහස් විද්වත් කමිටුවට දැනුම් දිය හැකි බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ. ඊට අමතරව විද්වත් කමිටුව සඳහා වෙන වෙබ් අඩවියක් ද ආරම්භ කරනු ලැබ ඇති බවත් ඔහු පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කාර්යයට මහජනතාව සහභගී කර ගැනීම තුළ පවතින වැදගත් කම පිළිබඳව බීබීසිය විමසීමක් කළ විට ඊට පිළිතුරු දෙමින් නාලක ගුණවර්ධන කියා සිටියේ ‘මහජනතාව සහ රාජ්‍යය අතර ගනුදෙනුවේ දී අවශ්‍ය රාමුව සකස් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව’ වන බවයි.
අයිස්ලන්ත අත්දැකීම
සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ එක්තරා සමාජ කණ්ඩායමක් විසින් සම්පාදනය කරන ලද ආණ්ඩුක්‍රම නීතියක් මහජනයා මත පැටවීම වන නමුත් මෑත ඉතිහාසයේ 2011 -12 වසර වල අයිස්ලන්ත බලධාරීන් එරට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයේ දී රටේ ජනතාව සහභාගී කර ගත් බවයි නාලක ගුණවර්ධන පෙන්වා දෙන්නේ.
මහජන මතය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට යාමෙන් බහුතරයේ මතය මතුපිටට එන හෙයින් ‘අනාගමික’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ අරමුණට අභියෝගයක් එල්ල වෙනවා නොවේදැයි බීබීසිය විමසීමක් කළ විට නාලක ගුණවර්ධන කියා සිටියේ, යෝජනා ඉදිරිපත් කිරීමෙන් නොනැවතී ඉදිරි ක්‍රියාමාර්ග කෙරෙහි ද අවධානයෙන් සිටිය යුතු බවයි.
සහභාගී දේශපාලනය
එසේම විශේෂඥ මට්ටමින් සිදු විය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කාර්යයට බහු ජනතාව සහභාගී වීමෙන් මතු විය හැකි ‘කෙටුම්පත් කිරීමේ කාර්යය තවත් දුෂ්කර වීමේ ගැටලුව’ ගැන විමසූ විට නාලක ගුණවර්ධන කියා සිටියේ ‘වැඩි සහභාගිත්වය තුලින් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇති පිළිගැනීම වඩාත් වැඩි වෙන’ බවයි.
‘කාලය වැඩියෙන් ගත වීමට ඇති අතරවාරයේ වැඩ කටයුතු ද සංකීර්ණ විය හැකි නමුත් වැඩි සහභාගිත්වයක් සහිතව යන ගමන වඩාත් හොඳ එකක්’ වන බව සිය අදහස වන බවත් නාලක ගුණවර්ධන පවසයි.








