ශ්‍රී ලංකාවේ "ඉතා දුර්වල" ව්‍යවස්ථාව, මුස්ලිම් ළමා විවාහ සහ ඉන්දීය අධිකරණය

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතා දුර්වල බව පවසන ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවල මෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට ඇති ආරක්ෂාව ගැන ජනතාවට හැගීමක් නොමැති බව ද පෙන්වා දෙයි.
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩගම ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමය සහ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෑත දී ලබා දුන් තීන්දු කිහිපයක් ඇතුළු කරුණු පිළිබඳව බීබීසී සිංහල සේවය සමග දීර්ඝ සංවාදයක යෙදෙමිනි.
"ලංකාවේ ව්‍යවස්ථාව ජනතාවගේ පරිකල්පනයෙන් කොටසක් නෙවෙයි. අපිට ශක්තිමත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒක ජනගත කළ යුතුයි."
ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දිකක්සාද නීතිය (MMDA) ළමා විවාහවලට අනුබල දෙන්නක් වන නමුත් ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම අදහස් දැක්වීමෙන් වැලකී සිටින බවට මුස්ලිම් ක්‍රියාකාරිනියන් එල්ල කරන චෝදනාව පිළිබඳව ද මහාචාර්ය උඩගම සිය ප්‍රතිචාරය පළ කළාය.
නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධ සිය ස්ථාවරය සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පිටු පහකින් සමන්විත ලියවිල්ලක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, HRCSL
ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික අයිතීන් නව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ අවශ්‍යතාව එමගින් අවධාරණය කරනු ලැබ තිබේ.
බීබීසී සිංහල සේවය සමග ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ මහාචාර්ය දීපිකා උඩගම, විශේෂයෙන්ම ප්‍රධාන කරුණු දෙකක් එම ලියවිල්ල මගින් අවධාරණය කරනු ලැබ තිබෙන බව පෙන්වා දුන්නාය;
- ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව උත්තරීතර විය යුතු බව
- කිසියම් පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමෙන් අනතුරුව පවා අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට හැකියාව තිබීම
යන්න ඒ කරුණු දෙකය.
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය ඒ අදහස් පළ කළේ මුස්ලිම් ක්‍රියාකාරිනියන් එල්ල කරන චෝදනා පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් සමාජය තුළ ළමා විවාහ වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බැවින් එයට අවස්ථාව සලසන MMDA මුස්ලිම් පුද්ගල නීතිය සංශෝධනය කළයුතු බව මුස්ලිම් ක්‍රියාකාරිනියෝ අවධාරණය කරති.
බලහත්කාර ළමා විවාහයකට ගොදුරු කරනු ලැබ, සැමියාගේ පහරදීම් හමුවේ දරු ගැබ පවා විනාශ කෙරුණු දැරියකගේ අනුවේදනීය පුවතක් සහිත විශේෂ ගවේෂණයක වාර්තාවක් බීබීසී සිංහල සේවය ද පසුගියදා ප්‍රකාශයට පත් කළේය.
සබැඳි යොමු:
- ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහයක්, අහිමි වූ දරු ගැබක් සහ 'ගණිකාවක්'
- 'මුස්ලිම් ජනයාට අවශ්‍ය මුස්ලිම් විවාහ නීතිය'
- ව්‍යවස්ථාව සහ බුදු දහම: "ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්"
- ළමා මනාලියක් සමග ලිංගිකව එක්වීම දූෂණයක් - ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය
- ළමා විවාහ නිසා 'ඩොලර් ට්‍රිලියන ගණනක පාඩුවක්'
- "ඓතිහාසික මොහොතක්, ජනපති ක්‍රමය ගැන එකඟත්වයක් නෑ"
මුස්ලිම් ක්‍රියාකාරිනියන්ගේ ඉල්ලීම ඉතා සාධාරණ බව පිළිගන්නා නමුත් සමස්ත රටම නියෝජනය කරන කොමිෂන් සභාවක් ලෙසින් එක් ප්‍රජාවක් පමණක් ඉලක්ක කරගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට තමන්ට හැකියාවක් නොමැති බව මහාචාර්ය උඩගම අවධාරණය කරන්නීය.
ඒ සඳහා මුස්ලිම් ප්‍රජාව තුළ අදහස් විමසීමේ ක්‍රියාදාමයක (consultation) අවශ්‍යතාව පෙන්වාදෙන සභාපතිනිය පවසන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ කොමිෂන් සභාවේ ස්ථාවරය මගින් මුස්ලිම් කාන්තාවන් මතු කරන ගැටලුව පිළිබඳව ද සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කොට තිබෙන බවය.
"ව්‍යවස්ථාව උත්තරීතර නම් ඒකට උඩින් ගිය කිසිම නීතියක් තියෙන්න බෑ," සභාපතිනිය සඳහන් කළාය.
"ඒ නිසා ඒක කරුණු හරිහැටි වටහා නොගෙන එල්ල කරන චෝදනාවක්."
වැඩිදුරටත් කරුණු දැක් වූ මහාචාර්යවරිය, "දැන් බලන්න ඉන්දියාවේ, දකුණු අප්‍රිකාවේ ජනතාවට ව්‍යවස්ථාව කියන්නේ ආගමික ග්‍රන්ථ හා සමානවම වැදගත් දෙයක්," යනුවෙන් ද කියා සිටියාය.
කිසියම් පුරුෂයෙකු, ඔහුගේ බාල වයස්කාර බිරිඳ සමග ලිංගික කටයුතුවල යෙදීම දූෂණයක් ලෙස සලකනු ලබන බව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සතියේ තීන්දු කළේය.
එය ඉන්දියාවේ බාල වයස්කාර විවාහ සම්බන්ධයෙන් දෙනු ලැබූ ඓතිහාසික තීන්දුවක් ලෙස සැලකේ.
ඊට සති කිහිපයකට පෙර තවත් ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, ඉස්ලාමීය භාවිතය අනුව ක්‍රියාත්මකවන ක්ෂණික ('තලාක්') දික්කසාදය ව්‍යවස්ථාවට පටහැනි බව නිගමනය කළේය.
අදාළ භාවිතය "ඉස්ලාමීය නොවන" බව ඉන්දියාවේ ඉහළම අධිකරණයේ නිගමනය විය.
එම තීන්දු අගය කරමින් අදහස් දැක්වූ මහාචාර්ය දීපිකා උඩගම බීබීසී සිංහල සේවයට කියා සිටියේ, නව ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාවේ අධිකරණයේ ද ස්වාධීනතත්වය තවදුරටත් තහවුරු කළ යුතු බවය.
කාන්තාවන්ගේ හෝ කිසියම් ප්‍රජාවක අයිතිවාසිකම් තහවුරු කෙරෙන්නේ එක් පනතකින් පමණක් නොවන බව පෙන්වා දෙන නීතිය පිළිබඳ මහාචාර්යවරිය, ඉන්දියාවේ සහ දකුණු අප්‍රිකාවේ වැනි රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ "මූලධර්ම නිසි පරිදි සකස් කරගැනීමේ" අවශ්‍යතාව අවධාරණය කරන්නීය.
"උදාහරණයක් විදියට 1978 ව්‍යවස්ථාවේ තවමත් වගන්ති තියෙනව ඒකෙ උත්තරීතර බව කෙලෙසන," ඇය සඳහන් කළාය.
ඇය සඳහන් කරන ආකාරයට 1978 ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට ප්‍රථම ක්‍රියාත්මක වූ තේසවලාමේ, උඩරට නීතිය සහ මුස්ලිම් පුද්ගල නීතිය ඇතුළු නීති ඒ අයුරින්ම තවදුරටත් බලපැවැත්වෙන බව සඳහන් 16.1 වගන්තිය එවැනි එක් උදාහරණයක් පමණකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එබැවින් ව්‍යවස්ථාවේ උත්තරීතර බව සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම මගින් මුස්ලිම් ක්‍රියාකාරිනියන් ඇතුළු බොහෝ දෙනා මතු කරන ගැටලුවලට පිළියමක් ලැබෙනු ඇති බව ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්ථාවරයය.
"උදාහරණයක් විදියට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථාව පදනම් කරගෙන ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් නීති ගැන අර්ථ කථන දීල තියෙනවා," මහාචාර්ය උඩගම සඳහන් කළාය.
"ඒ නිසා එකින් එක වෙන, වෙනම ගන්නවට වැඩිය මේක සමස්තයක් විදියට පිළිගනිමු."
මේ අතර ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පසුගියදා බීබීසී සිංහල සේවයට කියා සිටියේ කාන්තා හිමිකම් සම්බන්ධ පාර්ලිමේන්තු අනු කමිටුවේදී මුස්ලිම් ක්‍රියාකාරිනියන්ගේ ඉල්ලීම පිළිබඳව එකඟතාවක් ඇති නොවූ බවය.
ඔවුන්ගේ ඉල්ලීම ඉතා සාධාරණ යයි තමන් පිළිගන්නා බව ද ආචාර්ය වික්‍රමරත්න සඳහන් කළේය.












