ළමා මනාලියක් සමග ලිංගිකව එක්වීම දූෂණයක් - ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය

Priyanka (not her real name), who was married aged 15 to a 22-year-old man in a ceremony arranged by her family

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාව තුළ සිය අභිමතය පරිදි ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට සහ විවාහ වීමට කාන්තාවකට නීතියෙන් අවසර හිමි වන්නේ වයස අවුරුදු 18 නි

පුරුෂයෙකු, ඔහුගේ බාල වයස්කාර බිරිඳ සමග ලිංගික කටයුතුවල යෙදීම දූෂණයක් ලෙස සලකනු ලබන බව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

එය ඉන්දියාවේ බාල වයස්කාර විවාහ සම්බන්ධයෙන් දෙනු ලැබූ ඓතිහාසික තීන්දුවක් ලෙස සැලකේ.

සිය අභිමතයෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදෙන්නේ නම් වසරක් ඇතුළත ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ස්වාමිපුරුෂයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බාල වයස්කාර මනාලියකට අවස්ථාව හිමි වේ.

ඉන්දියාව තුළ සිය අභිමතය පරිදි ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට සහ විවාහ වීමට කාන්තාවකට නීතියෙන් අවසර හිමි වන්නේ වයස අවුරුදු 18 නි.

නමුත් විවාහක දූෂණය අපරාධයක් වශයෙන් නොසැලකේ.

Child marriage in India

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉන්දියාව තුළ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් පවතින නීතියේ අඩංගු වගන්තියකට අනුව සිය බිරිඳ අවුරුදු 15 ඉක්මවූ අයෙකු නම් ඇය සමග ලිංගික කටයුතුවල යෙදීමට පුරුෂයෙකුට හැකියාව පවතී.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ ඉහත කී තීන්දුව කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ කාන්තා ක්‍රියාකාරීනියන්ගේ ප්‍රසාදයට ලක් වී තිබේ.

එනමුත් ළමා විවාහ විශාල වශයෙන් සිදු කෙරෙන ඉන්දියාවේ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අපහසු වනු ඇති බව වාර්තාකරුවෝ පවසති.

"මෙය, ගැහැණු ළමුන්ට එරෙහිව සිදු වූ ඓතිහාසික වැරැද්දක් නිවැරදි කෙරුණු අධිකරණ තීන්දුවක්. ගැහැණු ළමයි නොසලකා හරින නිර්ණායකයක් වශයෙන් විවාහය යොදා ගන්නේ කොහොමද?" යනුවෙන් අදාළ නඩු විභාගයේ ප්‍රධාන පෙත්සම්කරුවෙකු වූ 'නිදහස් සිතුවිලි' නමැති සංවිධානයේ වික්‍රම් ශ්‍රීවාස්තව කියා සිටියේය.

සෑම වසරකම, ශ්‍රී ලංකාවේ සිය ගණනක් බාල වියේ මුස්ලිම් දැරියෝ සිය දෙමාපියන් හෝ භාරකරුවන් විසින් බලහත්කාරයෙන් විවාහ කර දෙනු ලබති.

වීඩියෝ ශීර්ෂ වැකිය, ළමා විවාහයක්, මුස්ලිම් ක්‍රියාකාරිනියෝ සහ තව්හීඩ් ජමාආත්

ශ්‍රී ලංකාවේ මුස්ලිම් සමාජය තුළ තවමත් ක්‍රියාත්මක වන ළමා විවාහ පිළිබඳව බීබීසී සිංහල සේවය පසුගියදා විශේෂ ගවේෂණයක යෙදිණි.

වයස අවුරුදු 18 ට අඩු දැරියන් විවාහ කරදීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව තහනම්ය.

එහෙත් දශක ගණනාවක් පැරණි මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් වයස් සීමාවකින් තොරව දැරියන් විවාහ කරදීමට මුස්ලිම් දෙමාපියන්ට සහ භාරකරුවන්ට අවසර දී තිබේ.

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය ළමා විවාහවලට රුකුල් දෙන බව පෙන්වා දෙන මුස්ලිම් ක්‍රියාකාරිනියෝ, විශේෂයෙන්ම එවැනි නීති සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ පවතින 16.1 වගන්තිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරති.

ඔවුන්ගේ එම අදහස් තමන් ද අනුමත කරන අතර, මූලික අයිතිවාසිකම් යටතේ මුස්ලිම් විවාහ නීතිය ඇතුළු පුද්ගලික නීති සංශෝධනය කළ යුතු ද යන්න පිළිබඳව තවමත් සාකච්ඡා කෙරෙමින් පවතින බව බීබීසී සිංහල සේවය හා පැවති සාකච්ඡාවකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැවසීය.