ෆීෆා නිලවරණය: ශ්‍රී ලංකා ඡන්දය බ්ලැටර්ට

"1998 ඉඳල සෑම වසරකම ෆීෆා අනුග්‍රහ මුදල ඩොලර් 250,000 ක් අපිට ලබා දෙනවා. ඒකෙන් තමයි අපි සම්පූර්ණ මේ පාපන්දුව පවත්වාගෙන යන්නේ" - ශ්‍රී ලංකා පාලක මණ්ඩලය

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, "1998 ඉඳල සෑම වසරකම ෆීෆා අනුග්‍රහ මුදල ඩොලර් 250,000 ක් අපිට ලබා දෙනවා. ඒකෙන් තමයි අපි සම්පූර්ණ මේ පාපන්දුව පවත්වාගෙන යන්නේ" - ශ්‍රී ලංකා පාලක මණ්ඩලය

පසුගිය සිකුරාදා ස්විට්සර්ලන්තයේදී පැවැත්වුණු ෆීෆා ජගත් පාපන්දු පාලක මණ්ඩලයේ නිලවරණයේදී සෙප් බ්ලැටර් වෙනුවෙන් සිය ඡන්දය භාවිත කළ බව ශ්‍රී ලංකා පාපන්දු පාලක මණ්ඩලයේ සභාපති රංජිත් රුද්‍රිගු බීබීසී සංදේශයට පැවසීය.

නිලවරණයේදී සෙප් බ්ලැටර් පස් වැනි වතාවටත් ජගත් පාලක මණ්ඩලයේ සභාපති පදවියට තේරී පත්විය.

ෆීෆා නිලධාරීන් හත්දෙනකු ඇතුළු 14 දෙනකු ඇමෙරිකානු FBI ආයතනයේ නිලධාරීන් විසින් දූෂණ චෝදනා මත පසුගිය සතියේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පදවියෙන් ඉල්ලා අස්වන මෙන් සෙප් බ්ලැටර්ට ජාත්‍යන්තර බලපෑම් එල්ල විය.

'ශක්තිමත් නායකත්වය'

එහෙත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ ජගත් පාලක මණ්ඩලයේ සභාපතිවරයා, ක්‍රීඩාව දූෂණ චෝදනාවලින් බේරා ගැනීම වෙනුවෙන් පියවර ගැනීමට සුදුසුම පුද්ගලයා තමා බව අවධාරණය කළේය.

ෆීෆා නිලධාරීන් හත්දෙනකු ඇමෙරිකානු FBI ආයතනයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆීෆා නිලධාරීන් හත්දෙනකු ඇමෙරිකානු FBI ආයතනයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි

මෙහිදී සභාපතිවරයාට පුද්ගලිකව චෝදනා එල්ල වී නොමැති බව පවසන ශ්‍රී ලංකා පාපන්දු පාලක මණ්ඩලයේ සභාපති රංජිත් රුද්‍රිගු, 1998 සිට ශ්‍රී ලංකාව ඇතුළු කුඩා රටවලට බොහෝ මූල්‍යාධාර ලබාදීමට සෙප් බ්ලැටර් විශාල මෙහෙයක් කළ බව සංදේශයට පැවසීය.

"1998 ඉඳල සෑම වසරකම ෆීෆා අනුග්‍රහ මුදල ඩොලර් 250,000 ක් අපිට ලබා දෙනවා. ඒකෙන් තමයි අපි සම්පූර්ණ මේ පාපන්දුව පවත්වාගෙන යන්නේ," ඔහු පැවසීය.

සෙප් බ්ලැටර් ආරම්භ කළ 'ගෝල් ව්‍යාපෘතියේ' අදියර ගණනාවක් තුල උතුරේත්, දකුණේත් ක්‍රීඩා පහසුකම් සංවර්ධනය කිරීමට හැකියාව ලැබුණු බවත් ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් වෙනත් පුද්ගලයකු සභාපති පදවිය දැරුවත් එම ආධාර ලැබෙන්නට තිබුණා නේදැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් රංජිත් රුද්‍රිගු, වත්මන් සභාපතිවරයාගේ දක්ෂතාවය මත ජගත් පාලක මණ්ඩලයේ ආදායම ඉතා විශාල වශයෙන් ඉහල ගොස් තිබෙන බව සඳහන් කළේය.