FIFA අනුග්‍රාහකයෝ අනතුරු අඟවති

ඡායාරූප මූලාශ්‍රය, AFP

ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ කීර්තිනාමය යළි ස්ථාපිත කිරීම සඳහා කඩිනම් පියවර නොගන්නේ නම් තම අනුග්‍රාහකත්වය පිළිබඳව යළි සලකා බැලීමට සිදු වන බවට අනුග්‍රාහකයෝ අනතුරු අඟවති.

ලෝක පාපන්දු සම්මේලනයේ ඉහළ පෙළේ නිලධාරීන් සය දෙනෙකු වංචා හා දූෂණ චෝදනා මත ඊයේ (බදාදා) අත් අඩංගුවට ගැනීමෙන් පසුවයි මෙම නිවේදන නිකුත් වී ඇත්තේ.

ලෝක පාපන්දු තරඟාවලියේ අනුග්‍රාහකයෙකු වන වීසා (VISA) සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඉහත කී සිදුවීම් සිය ආයතනයේ දැඩි සැලකිල්ලටත් කලකිරීමටත් භාජනය වී ඇති බවයි.

එල්ල වී ඇති චෝදනා නිසා පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අරමුණු සහ පරමාදර්ශයන් කෙලෙසී ඇති බව කොකා කෝලා සමාගම පවසයි.

ලෝක පාපන්දු සම්මේලනයේ (FIFA) ප්‍රධානී සෙප් බ්ලැටර්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝක පාපන්දු සම්මේලනයේ (FIFA) ප්‍රධානී සෙප් බ්ලැටර්

මේ අතර තුර ලෝක පාපන්දු සම්මේලනයේ (FIFA) ප්‍රධානී සෙප් බ්ලැටර් අද (28) පෙරවරුවේ පැවැත්වුණු සම්මේලනයකදී වෛද්‍ය විශේෂඥයන් ඇමතීමට නියමිතව තිබු නමුත් ඔහු ඊට සහභාගී නොවීය.

කෙසේ නමුත් සුරිච් නුවරදී අද සවස පැවැත්වෙන ලෝක පාපන්දු සම්මේලනයේ වාර්ෂික සම්මේලනයට ඔහු සහභාගී වීමට නියමිතයි.

මෙම සමුළුවේ දී හෙට ඡන්ද විමසීමක් පැවැත් වීමට නියමිත අතර එහිදී වත්මන් සභාපතිවරයා පස් වැනි වතාවටත් එම ධූරය සඳහා තේරී පත් වනු ඇති බවට විශ්වාස කෙරෙයි.