FIFA හි ඉහළ නිලධාරීන් 6 කට ඇමරිකාවෙන් නඩු

අදාළ නිලධාරීන් අල්ලස් සහ අනෙකුත් නීත්‍යනුකුල නොවන ලබා ගැනීම් හරහා ඩොලර් මිලියන එකසිය පනහකට වැඩි මුදලක් ලබා ගෙන ඇති බවයි පැවසෙන්නේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, අදාළ නිලධාරීන් අල්ලස් සහ අනෙකුත් නීත්‍යනුකුල නොවන ලබා ගැනීම් හරහා ඩොලර් මිලියන එකසිය පනහකට වැඩි මුදලක් ලබා ගෙන ඇති බවයි පැවසෙන්නේ

වංචා සහ කළු සල්ලි ජාවාරම් වල නිරත වීමේ චෝදනාව මත ලෝක පාපන්දු සම්මේලනයේ (FIFA) විධායක නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව ඇමරිකානු නීති දෙපාර්තමේන්තුව විසින් නඩු පවරනු ලැබ තිබේ.

උදෑසන සුරිච් නගරයේ තරු පහේ හෝටලයක් වැටලූ ස්විස් පොලීසිය විසින් ලෝක පාපන්දු සම්මේලනයේ ඉහළ පෙළේ නිලධාරීන් සය දෙනෙකු අත් අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

මෙසේ අත් අඩංගුවට ගත් නිලධාරීන් අතර උතුරු සහ මධ්‍යම ඇමරිකාව නියෝජනය කරන ලෝක පාපන්දු සම්මේලනයේ නියෝජ්‍ය සභාපති ජෙෆ්රි වෙබ් (Jeffrey Webb) ද සිටින බවයි වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඇමරිකානු නීති දෙපාර්තමේන්තුව නිකුත්කළ ප්‍රකාශනයක් මගින් චෝදනා කර ඇත්තේ දශක දෙකක කාලයක් තුළ අදාළ නිලධාරීන් අල්ලස් සහ අනෙකුත් නීත්‍යනුකුල නොවන ලබා ගැනීම් හරහා ඩොලර් මිලියන එකසිය පනහකට වැඩි මුදලක් ලබා ගෙන ඇති බවයි.

මේ අතර සුරිච් නගරයේ පවතී ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ලෝක පාපන්දු සම්මේලනයේ (FIFA) ප්‍රකාශක වෝල්ටර් ඩි ග්‍රේගොරියෝ (Walter DeGregorio) පැවසුවේ මෙම අත් අඩංගුවට ගැනීම් සිදු වූවද FIFA (ලෝක පාපන්දු සම්මේලනයේ) හි නව සභාපතිවරයා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීම සිකුරාදා සිදු කෙරෙන බවයි.