කණ්ඩායම් හැඟීමෙන් එක්සත් වෙමු - FIFA සභාපති

ඡායාරූප මූලාශ්‍රය, PA

ලෝක පාපන්දු සම්මේලන (FIFA) පාලක මණ්ඩල රැස්වීමේ දෙවෙනි දින එහි සාමාජිකයන් අමතමින් එහි ප්‍රධානී සෙප් බ්ලැටර් ඉල්ලා සිටියේ සියලු දෙනාට මෙම ප්‍රශ්නය විසඳීමට එක්සත් වන ලෙසත් පාපන්දු ක්‍රීඩාවේ කණ්ඩායම් හැඟීම ඇති කර ගන්නා ලෙසයි.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ තමන් සම්මේලනයේ සභාපති ලෙස පස් වන වරටත් පත් වුවොත් ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ කීර්තිනාමය යළි ස්ථාපිත කිරීමට තමන් පොරොන්දු වන බවයි.

ලෝක පාපන්දු සම්මේලනයේ ඉහළ පෙළේ නිලධාරීන් හත් දෙනෙකු වංචා හා දූෂණ චෝදනා මත පසුගිය (බදාදා) අත් අඩංගුවට ගැනීමෙන් දින දෙකකට පසුවයි සභාපති ධුරය වෙනුවෙන් චන්ද විමසීම සිදු කෙරෙන්නේ.

සෙප් බ්ලැටර් සමග සභාපති ධුරය වෙනුවෙන් තරඟ වදින අලි බින් අල් හුසේන් ජෝර්දාන කුමාරයා පවසන්නේ ලෝක පාපන්දු සම්මේලනයේ දූෂණ සහ වංචා තුරන් කිරීමට නම් තමන්ට සභාපති ධුරය හිමි විය යුතු බවයි.

බීබීසි වාර්තාකරු පවසන්නේ සෙප් බ්ලැටර් ට ඡන්ද විමසීමේ දී ඇමරිකා අප්‍රිකා සහ ආසියාවේ සාමාජිකයින්ගෙන් සිය සහයෝගය හිමි වෙනු ඇති අතර ඊට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් දකින්නේ ඔහු විසින් දිළිඳු රටවල පාපන්දු ක්‍රීඩාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් ඉටු කළ මහඟු සේවයයි.

යුරෝපයේ සහයෝගය අලි බින් අල් හුසේන් ජෝර්දාන කුමාරයාට හිමි වෙනු ඇති බවට විශ්වාස කෙරෙන අතර සභාපති ධූරය හිමි කර ගැනීමට මොවුන් දෙදෙනාගෙන් එක් අයකු ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද තුනෙන් දෙකක් ලබා ගත යුතු වේ.