T20 ලෝක කුසලානය: ඉන්දියා-පකිස්ථාන තරගය නිසා ගුවන් ප්‍රවේශ පත්‍ර මිලත් ඉහළට

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පෙර සිට ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වීමට නියමිත තරගය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.

තරගාවලිය ආරම්භයට පෙර සිට ඉන්දියාව සමග තරගය වර්ජනය කරන බවට පකිස්ථානය තීරණය කර තිබූ අතර, එම තීරණය වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ඇතුළු විවිධ අංශ මැදිහත් විය.

මෑත කාලයේදී සිදුවූ භූ දේශපාලනික සිදුවීම් හා පසුගිය වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියේදී දෙරටේ ක්‍රීඩකයින් අතර ඇති වූ උණුසුම් සිදුවීම් හේතුවෙන් එළෙඹෙන පෙබරවාරි මස 15 වන දා පැවැත්වීමට නියමිත ඉන්දු - පකිස්ථාන විස්සයි 20 ලෝක කුසලාන තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

'ඉන්දියාවෙන් යාළුවෝ කෝල් කරලා ටිකට් ඉල්ලනවා'

ඉන්දු - පකිස්ථාන ක්‍රිකට් තරගයේ ප්‍රවේශපත්‍ර මිල දී ගැනීම සඳහා ප්‍රේක්ෂකයින් අතර පවතින්නේ දැඩි උනන්දුවකි.

ඉන්දියාව සහ පකිස්ථානය අතර ක්‍රිකට් තරගය පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරගය නැරඹීමට හැකියාව ඇත්තේ, ප්‍රේක්ෂකයින් 28,000කට පමණි.

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම ප්‍රේක්ෂක අවධානය හිමිව ඇති ඉන්දු - පකිස්ථාන තරගය වෙනුවෙන් ICC වෙබ් අඩවිය ඔස්සේ නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍ර සියල්ල විකිණී අවසන්ව තිබිණි.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ ක්‍රීඩා ලෝලියෙකු වන දර්ශන චමින්ද කියා සිටියේ, තමන්ට සහ මිතුරන්ට එළඹෙන ඉරිදා පැවැත්වෙන තරගය වෙනුවෙන් එකදු ප්‍රවේශ පත්‍රයක් හෝ මිල දී ගැනීමට නොහැකි වූ බවය.

"ඉන්දියාවයි පකිස්ථානයයි කියන්නේ බලන්න ආස හිතෙන මැච් එකක්. ලේසියෙන් අපිට ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා එතන තියෙන වයිබ් එකත් එක්ක බලන්න ලැබෙන්නේ කලාතුරකින්. ඒ චාන්ස් එක මේ පාර ගන්න ලැබෙයි කියලා හිතුවට තව ම ටිකට් එකක් ගන්න ලැබුණේ නැහැ. ටිකට් ඔන්ලයින් සේල් කරන්න දාලා තිබ්බා. පස්සේ බලද්දී ටිකට් ගන්න තිබුණේ නැහැ," ඔහු පැවසුවේ ය.

මේ අතර, තරගය නැරඹීම සඳහා ඉන්දියාවේ සිටින සිය මිතුරන් ඉල්ලීම් කරන බවත්, තමන්ට මේ දක්වා ඉන්දු - පකිස්ථාන තරගය නැරඹීමට එක් ප්‍රවේශ පත්‍රයක් හෝ සොයා ගැනීමට නොහැකි වූ බවත් කොළඹ ප්‍රදේශයේ වෙසෙන ඉලංගෝ (සැබෑ නම නොවේ) බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ ය.

"මගෙන් ඉන්දියාවේ ඉන්න යාළුවෝ ඔන්ලයින් ටිකට් ගන්න විදිහක් නැහැ කියලා මෙහෙන් පුළුවන් නම් ටිකට් අරන් දෙන්න කියලා ඉල්ලනවා. දැනට 20 දෙනෙකුට වැඩිය මට කෝල් කරලා ටිකට් ඉල්ලලා තියෙනවා. කොහොම ද මම ඒ අයට ටිකට් හොයලා දෙන්නේ. අඩු ම තරමින් අපිටවත් ටිකට් නැහැ හොයා ගන්න," ඔහු පැවසීය.

'ටිකට් ගැන අහලා තියෙනවා 88,000ක්'

මේ අතර, ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමේ බලාපොරොත්තුවෙන් විමසීම් 88,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් බීබීසී සිංහල සේවය වෙත තහවුරු කළේ ය.

"අඩු ම තරමින් අපෙන් 88,000ක් වගේ විමසීම් කරලා තියෙනවා ඉන්දියා - පකිස්ථාන මැච් එකේ ටිකට්වලට. ඒත් ඉතින් ග්‍රවුන්ඩ් එකේ මැච් එක බලන්න පුළුවන් උපරිම ගාන 28,000ක් එහෙමත් නැත්නම් 30,000ක් වෙයි. මේ මැච් එක බලන්න එන ගොඩක් අය ඉන්දියන් සහ පකිස්ථාන ජාතිකයින් කියල යි අපි බලාපොරොත්තු වෙන්නේ. ලොකු උනන්දුවක් තියෙනවා තරගයට," එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ ය.

මේ අතර, ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට විශේෂ ආරක්ෂක සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ, කලාපීය ගැටලු හේතුවෙන් පකිස්ථාන රජය මුලින් තරගයට සහභාගී නොවීමට තීරණය කළ නමුත් පසුව ශ්‍රී ලංකාව ඇතුළු පාර්ශව කිහිපයක මැදිහත්වීමෙන් පසු එම තීරණය වෙනස් කළ බව ය.

තරගය නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බවත්, ශ්‍රී ලංකා පොලිසිය දැනටමත් තරගය සඳහා විශේෂ රථවාහන සැලැස්මක් සකස් කර ඇති බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.

'ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළට'

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගයට සාපෙක්ෂව ඉන්දියාවේ සිට මෙරටට ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු ද ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.

Air India ගුවන් සේව‍යේ ගුවන් ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමේදී පෙබරවාරි මස 13 වන දා සහ පෙබරවාරි 16 අතර ඉන්දියාවේ නව දිල්ලි නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා පියාසර කරන Air India ගුවන් සේවයට අයත් යානාවල ප්‍රවේශ පත්‍ර මිල ගණන් දැක්වෙන්නේ, ඉන්දීය රුපියල් 76,000 සිට රුපියල් ලක්ෂය අතර පරාසයක ය.

මේ අතර, ඉන්දියාවේ නවදිල්ලි නුවර සහ ශ්‍රී ලංකාව අතර පෙබරවාරි මස 13 වන දා සහ පෙබරවාරි මස 16 වන දා අතර ක්‍රියාත්මක ගුවන් සේවාවන් වන IndiGo සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවාවන්වල ප්‍රවේශ පත්‍රවල මිල ගණන් ඉන්දීය රුපියල් 60,000 සහ රුපියල් 111,644ක් අතර පවතී.

'අද රෑ ටිකට් 5000ක් ඔන්ලයින් විකුණනවා'

බීබීසී සිංහල සේවය කළ සොයා බැලීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, ඉන්දියාව සහ පකිස්ථානය අතර ක්‍රිකට් තරගය වෙනුවෙන් නව ප්‍රවේශ පත්‍ර 5,000ක් පමණ අද (පෙබරවාරි 11) සවස් කාලයේ ඉන්ටර්නෙට් ඔස්සේ අලෙවි කිරීම සඳහා සුදානම් කර ඇති බව ය.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සංවිධායක කමිටුව නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු බීබීසී සිංහල සේවය වෙත තහවුරු කළේ, එම ප්‍රවේශ පත්‍ර 5,000කට ආසන්න සංඛ්‍යාවක් අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව ය.

"දැනට සති කිහිපයක ඉඳලා ඉන්දියා - පකිස්ථාන මැච් එකේ ටිකට්ස් ඔන්ලයින් දුන්නා. ඉතුරු වෙලා තියෙන තවත් ටිකට් 5000කට වැඩි සංඛ්‍යාවක් අද රෑ 07 වෙද්දී අපි ඔන්ලයින් සේල් කරනවා," එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ ය.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගයේ ප්‍රවේශ පත්‍රයේ වැඩි ම සහ අඩු ම මිල ගණන් කොපමණ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් එම නිලධාරියා ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"අපේ මිල ගණන් අනුව VIP ටිකට් එකක ගාණ රුපියල් 50,000ක් වෙනවා. ඒ වගේ ම රුපියල් 25,000, රුපියල් 20,000, රුපියල් 15,000, රුපියල් 10,000 මිල ගණන්වලට මේ මැච් එකේ ටිකට්ස් තියෙනවා. ඒ වගේ ම ග්‍රාස් බෑන්ක් එකේ රුපියල් 1500කට වගේ තමයි, ටිකට්වල මිල ගණන් තිබුණේ," එම නිලධාරියා පැවසුවේ ය.

ඉන්දියාව සහ පකිස්ථානය අතර තරග ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩි ම ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි වන තරග ලෙස සැලකේ. එම තරගවල ප්‍රවේශ පත්‍ර අලෙවිය, රූපවාහිනී අයිතිවාසිකම්, අනුග්‍රාහකත්වයන් සහ වෙළෙඳ දැන්වීම් හරහා විශාල ආදායමක් අදාළ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හිමි වේ.