ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දු - පකිස්ථාන T20 තරගය: ජනපති අනුර, පකිස්ථාන අගමැතිට ස්තුතිය පුද කරයි
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
බහුපාර්ශවික සාකච්ඡාවලදී ලබාගත් ප්‍රතිඵල මෙන් ම මිත්‍රශීලී රටවල ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග තරගයට ක්‍රීඩා කරන ලෙස පකිස්ථාන රජය සිය ජාතික ක්‍රිකට් කණ්ඩායමට දැනුම් දී ඇත.
ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීමට සහ සහභාගී වන සියලුම රටවල ක්‍රීඩාවේ අඛණ්ඩ සහභාගිත්වය සහතික කිරීමට මෙම තීරණය ගන්නා බව පකිස්ථාන රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
මෙම ගැටලු සඳහා විසඳුමක් සොයා ගැනීමට පකිස්ථානයට ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අනෙකුත් රටවලින් ලැබුණු දැනුම් දීම් සමඟ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත කරනා ලද ඉල්ලීම් මෙහිදී සැලකිල්ලට ගත් බව පකිස්ථාන රජය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටියි.
පෙබරවාරි 09 වන දා සවස පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ දුරකථනය ඔස්සේ සාකච්ඡා කළ බවත්, එම සුහදශීලී ඇමතුම අතරතුර, විශේෂයෙන් දුෂ්කර කාලවලදී පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සහයෝගය ඔවුන් සිහිපත් කළ බවත් වත්මන් ගැටලුව මිත්‍රශීලී ආකාරයකින් විසඳීමට බැරෑරුම් ලෙස සලකා බලන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිය බවත් පකිස්ථාන රජය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.
පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් සහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ නියෝජිතයන් අතර පැවති ඉහළ මට්ටමේ සාකච්ඡාවල ප්‍රතිඵල පිළිබඳව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි විසින් පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ්ව දැනුවත් කර ඇති අතර ඒ අනුව එළඹෙන පෙබරවාරි මස 15 වැනිදා ඉන්දියාව සමග පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට එරට රජය අවසර දී ඇත.
ජනපති අනුරගෙන් X සටහනක්
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සිය X ගිණුමේ සටහනක් තබමින් පාකිස්ථාන අගමැතිවරයාට සිය කෘතඥතාවය පුදකර තිබේ.
"අපි හැමෝම ආදරය කරන ක්‍රීඩාව අඛණ්ඩව සිදු කරගෙන යාම සහතික කිරීම ගැන පකිස්ථාන අගමැතිවරයාට ස්තූතිය පුද කරනවා. කොළඹ පැවැත්වෙන T20 ක්‍රිකට් ලෝක කුසලානයේ, සැවොම උනන්දුවෙන් බලා සිටි ඉන්දියාව සහ පකිස්ථාන තරගය සැලසුම් කළ පරිදි සිදුවීම ගැන සතුටුයි."
"තරගාවලියේ සම සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මෙන් ම ඒ පිළිබඳව සැලකිලිමත් වූ සියලු දෙනාගේම උත්සාහයට ස්තූතිවන්ත වනවා. 1996 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ පකිස්ථානය යන දෙපාර්ශවය ම පෙන්වූ සහයෝගිතාව ශ්‍රී ලංකාව අමතක කර නැහැ. ආරක්ෂක හේතු මත අනෙක් අය ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටි අවස්ථාවක, එම රටවල් දෙක කොළඹදී ක්‍රීඩා කළා," සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ කුමක් ද?
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ද පෙබරවාරි 15 වන දා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාවට එරෙහි තම තරගය ක්‍රීඩා කරන ලෙස පකිස්ථානයෙන් ඉල්ලීමක් කර තිබිණි.
නිවේදනයක් නිකුත් කරමින් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි, පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය සහ පකිස්ථාන ක්‍රිකට් ලෝලීන් වෙත සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේ ය.
මෙම කාලය තුළ 'පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විශිෂ්ට සහයෝගීතාවක් පෙන්නුම් කර ඇති' බව එම නිවේදනයේ සඳහන් විය.
"මෙම කාලය තුළ පකිස්ථානය බංග්ලාදේශයට දක්වන ශක්තිමත් සහයෝගය ගැන අපි බෙහෙවින් පැහැදුණා. අපගේ සහෝදරත්වය වසර ගණනාවක් පවතිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා." බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොහොමඩ් අමිනුල් ඉස්ලාම් පැවසීය.
"ඊයේ පකිස්ථානයේ සිදුකළ කෙටි සංචාරයකින් පසුව සහ අපගේ සාකච්ඡාවල ප්‍රතිඵල සලකා බැලීමේදී, ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත සඳහා පෙබරවාරි 15 වන දින ඉන්දියාවට එරෙහිව ICC විස්සයි 20 ලෝක කුසලාන තරගය ක්‍රීඩා කරන ලෙස මම පකිස්ථානයෙන් ඉල්ලා සිටිනවා," යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සිය ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කළේ ය.