'කපුටු කාක්...කාක්...කාක්' කාක වත

ඡායාරූප මූලාශ්‍රය, AFP
බක් මාසයේ ඇසෙන කොවුල් හඬ වෙනුවට පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී දී රට පුරාම “කපුටු කාක්” හඬ අසන්නට ලැබුනා ඔබට මතක ද?
ඒ, රට පුරා ඇවිලී ගිය විරෝධතාවල දී කපුටා ආදේශකරගත් සටන් පාඨයක් සෑම උද්ඝෝෂණයක දීම පාහේ කියවුණ නිසා ය.
අලුත් අවුරුදු මාසයේ දී වැඩි වශයෙන් කොහා ගැන අසන්නට ලැබුණත්, කොහාට ජීවය ලබා දෙන කපුටා ගැන ඇත්තටම අපි දන්නේ මොනවා ද?
කාක වත
“කොළඹ කපුටා සහ කළු කපුටා කියන විශේෂ දෙක තමයි ලංකාවේ ඉන්නේ,” කොළඹ විශ්ව විද්‍යාලයයේ සත්ත්ව විද්‍යා පර්යේෂණ අංශයේ මහාචාර්ය සම්පත් සෙනවිරත්න කාක වත ගැන විමසූ බිබිසි සිංහල සේවයට පැහැදිලි කළේ ය.
කොළඹ කපුටා නගර ආශ්‍රිතවවත්, කළු කපුටා ග්‍රාමිය වශයෙනුත් සැරසමින් දිවි ගෙවනු ලබයි.
“අළු පාට බෙල්ලකුයි, කළු පාට ඇඟකුයි, ප්‍රමාණයෙන් තරමක් කුඩ යි, කාක් කියන සද්දය තීව්‍රතාවය ටිකක් වැඩියි,” නගරයේ ඉන්නා කොළඹ කපුටා ගැන මහාචාර්යවරයා විස්තර කළේ ය.
ගමේ දිවි ගෙවන කළු කපුටා ගැන විස්තර කළ මහාචාර්යවරයා ,“ප්‍රමාණයෙන් කොළඹ කපුටාට වඩා විශාල යි, එයාගේ මුළු ඇඟම කළු පාට යි, හොටේ ටිකක් විශාලයි, එයාගේ දිලිසෙන කළු පාටක් තියෙන්නේ. කොළඹ කපුටාට වඩා බොහොම ලස්සනයි,” යි ඒ වෙනස ගැන පහදා දුනි.
කපුටන් ගැන පර්යේෂණ කර ඇති මහාචාර්යවරයා පවසන්නේ කොළඹ කපුටාගේ රංචු විශාල වුව ද කළු කපුටා සිටින්නේ කුඩා රංචු වශයෙන් බව යි.
වසර 20ක පමණ ආයු කාලයක් ඇති කපුටා ජීවිත කාලය පුරාම එක් සහකරුවකු හෝ සහකාරියක සමග පමණක් දිවි ගෙවනු ලබයි.
“කාක්කන්ගේ අභිජනන කාලය වැස්සට කලින් අප්‍රේල්, මැයි අතර තමයි වෙන්නේ. බිත්තර දෙකක් හෝ තුනක් දානවා එක පාරකට. නිල් පාටයි, කොළ පාටයි, කළු දුඹුරු තිත් තියෙන බිත්තර තමයි දාන්නේ. ඒ බිත්තර දවස් 24ක් 25ක් වගේ රකිනවා. ගෑණු සතයි පිරිමි සතයි දෙන්නාම බිත්තර රකිනවා.”
කපුටා ඉතාම සමාජශීලී සත්ත්වයකු බව පෙන්වා දුන් මහාචාර්යවරයා, තම සාමාජිකයකු රෝගි වූ විටක දී හෝ ආහාර සොයාගැනිමේ අපහසුතාවයක් ඇතිවූ විටක දී සමූහයේ අනිත් කපුටන් තම සමාජිකයාව රැක බලා ගන්න බව සඳහන් කළේ ය.
කපුටු බුද්ධිය, මතකය සහ භාෂාව
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පැරැන්නන් කපුටු නුවණ ගැන දැන සිටි බවට හොඳම උදාහරණය වනුයේ, පිපාසිත කපුටෙකු ජලය පිරී නොතිබූ කලයකට ගල් පුරවා පිපාසය නිවාගත් හැටි ගැන ජනප්‍රවාදයේ එන ජන කතාව යි.
කපුටා සතුව ඇති අපූර්ව බුද්ධිය හා මතක තබාගැනිමේ හැකියාව ගැන සත්ත්ව පර්යේෂක මහාචාර්ය සම්පත් සෙනවිරත්න උදාහරණ සහිතව පැහැදිලි කළේ ය.
“ඇමරිකාවේ අවුරුදු තිහක් විතර පර්යේෂණ කරපු පර්යේෂකයෙක් පෙන්නලා දෙනවා කාක්කන්ට කොච්චර මතකයක් තියෙනවා ද කියන එක ගැන. ඒ අය එක පර්යේෂණයක් කරලා තියෙනවා එක නගරයකට ගිහිල්ලා මනුස්සයෙක් විශේෂ වෙස් මුහුණක් දාගෙන ඒ නගරේ ඉන්න කාක්කන්ට කරදර කරනවා. එහෙම කරලා අවුරුදු පහක් දහයකට පස්සේ ආපහු ඒ වෙස් මුහුණ දාගෙන ඒ නගරයේ ඇවිදිනකොට ඒ නගරේ කාක්කන්ට මතකයි ඒ මිනිහා ආපහු ඇවිල්ලා කියලා.”
“මනුස්සයකුට තව මනුස්සයෙක් අඳුරගන්න පුළුවන් වගේම ඊට සමාන හැකියාවක් කාක්කන්ට තියෙනවා කියලා තමයි පර්යේෂණවලින් හොයාගෙන තියෙන්නේ,” යි ඔහු පැවසීය.
කපුටන් සම්බන්ධව කරනා ලද පර්යේෂණවලින් වඳුරන් හා සමාන බුද්ධියක් ඇති බව හඳුනාගෙන ඇතැ යි මහාචාර්යවරයා සඳහන් කළේය.
“කාක්කෝ ගොඩක් බුද්ධිමත්. ඒ නිසා ඒ ගොල්ලන්නට පුළුවන් නිරීක්ෂණය තුළින් අලුත් දේවල් ඉගෙනගන්න. ඒ අංශයෙන් ගත්තාම කාක්කා ගොඩක් ඉහළ තලයක ඉන්නවා. වඳුරන්ට සමාන බුද්ධියක් තියෙනවා කියලා තමයි සැලකෙන්නේ. ඒ කියන්නේ බලාගෙන ඉගෙන ගැනිමේ හැකියාව වඳුරන්ගේ තරම්ම වැඩියි කියලා තමයි සැලකෙන්නේ.”
“කාක්කෝ ගැන විශේෂයෙන් පර්යේෂණ කරලා පෙන්නවලා දිලා තියෙනවා කොළඹ ඉන්න කාක්කාගේ භාෂාවට වඩා පොඩ්ඩක් වෙනස් ගාල්ලේ ඉන්න කාක්කාගේ භාෂාව කියලා. අර මිනිස්සුන්ගේ වගේ තමයි, ඊට වඩා පොඩ්ඩක් වෙනස් කුරුණෑගල ඉන්න කාක්කෙක්ගේ භාෂාව. ඒ ගොල්ලන්ගේ භාෂාවේ පොඩි වෙනස්කම්වලින් ඒ ගොල්ලන්ට පුළුවන් අඳුරගන්න වෙන පළාතකින් ආපු කපුටෙක්ව,” කපුටු භාෂා ගැන මහාචාර්ය සම්පත් සෙනවිරත්න පැහැදිලි කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Roshan Chathuranga
පිටරට ගිය කොළඹ කපුටා
රිළවුන් චීනයට යැවිමේ සූදානම ගැන සමාජයේ කතා බහක් ඇති වි මොහොතක අතීතයේ දී සිංගප්පුරුවට යැවූ කපුටන් ගැන මහාචාර්වයා සිහිපත් කළේ ය. ඔහු පැවසූ ආකාරයට කොළඹ කපුටන් විශේෂය මීට කාලයකට ඉහත දී නගර අපිරිසිදුවීම අවම කිරීම සඳහා සිංගප්පුරුවට ගෙනගොස් තිබේ.
තායිලන්තයේ, මැලේසියාවේ සහ සිංගප්පුරුවේ සිටින කපුටන්ගේ ජාන පරීක්ෂණවලින් හඳුනාගෙන ඇති පරිදි ලංකාවේ සිටින කපුටන්ගෙන් එම රටවල් කපුටන් බෝ වී පැතිර ඇති බව ද ඔහු පවසනවා.
සිංගප්පුරුවට හැර වෙනත් රටකට කපුටන් ගෙන ගිය බවට සාක්ෂි නැතැ යි කී හෙතෙම, වෙනත් රටවල බෝ වී ඇති කොළඹ කාක්කන් කොළඹ වරායෙන් නැව් නැග පිටරට යන්නට ඇති බවට යි සැක පළ කරයි.
“ඉතියෝපියාවෙන්, සෝමාලියාවෙන් වගේ ඉන්දියන් සාගර ආශ්‍රිත අප්‍රිකානු නගර කිහිපයකත් කොළඹ කපුටා ඉන්නවා. ඒ අය කොළඹින් ගියාය කියලා තමයි අපි ජානමය හඳුනාගැනිම් කරළා තියෙන්නේ. අපි හිතන්නේ කොළඹ වරාය තමයි මේගොල්ලෝ පැතිරෙන්නේ කියලා. සමහර විට කොළඹ වරායට එන නැව්වල මේගොල්ලෝ නිදාගන්න ගියාම නැව රෑට පිට වෙද්දි මුහුදුට ගියාම යන්න එන්න තැනක් නැතුව ඉඳලා නැව ඊළඟට සේන්දු වෙන වරාය ගියාම පිට වෙලා යන්න ඇති කියලා අපි හිතනවා.”

ඡායාරූප මූලාශ්‍රය, AFP
පරිසරයට ඇති බලපෑම
අපේ අවට නිතරම සැරිසන කපුටාගෙන් පරිසරයේ තුල්‍යතාවට ඇති බලපෑම ගැන බීබීසී සිංහල සේවය මහාචර්යවරයාගෙන් විමසීමක් කළේ ය.
“කාක්කා සර්වභක්ෂයෙක් හින්දයි, ප්‍රමාණයෙන් ගොඩක් විශාල හින්දයි, ලොකු ගහණයක් පවත්වාගෙන යන හින්දයි එයාගෙන් පරිසරයට වෙන බලපෑම සමාන්‍ය සතෙක්ට වඩා ටිකක් වැඩියි. එයා විලෝපිකයෙක් විදියට හැසිරෙනවා. එයා කුරුල්ලන්ගේ කූඩු කඩනවා, සත්තු අල්ලගෙන මරලා කනවා, සත්තුන්ගේ බිත්තර කනවා, ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි මොකද ඒ වගේ විලෝපිකයෙක් හින්දා හැමතිස්සේම මැරෙන්නේ ශක්තියෙන් අඩු සත්ත්වයෙක්. විලෝපිකයෝ නිසා පරිසරයේ ඉන්න ලෙඩ සත්තු සහ ලෙඩ වෙන සත්තු පරිසරයෙන් අයින් වෙනවා. හරියට පිළිකාවක සෛල අයින් වෙනවා වගේ, ඒකෙන් පරිසරයේ සෞඛ්‍ය ආරක්ෂා වෙනවා.”
“ඒ වගේම කාක්කා අපතේ යන කෑම, කුණුවෙන කෑම කන සතෙක් විදියටත් හැසිරෙනවා. ඒක නිසා එයා කුණු අස්කරන මනුස්සයෙක් වගේ නගරයේ තියෙන කුණු අයින් කරනවා. තව විදියට කාක්කා පරාගනයට උදව් වෙනවා.”
කපුටාගෙන් පරිසරයට සිදුවන සේවාව මෙන්ම ගණනය වැඩිවුවහොත් කරදරයක් විය හැකි බව ද සම්පත් සෙනවිරත්න මහාචාර්යවරයා සිහිපත් කළේ ය.
කාක්කා ගැන ජන කතා
මිනිසාට සමීප පක්ෂියෙකු බැවින් කපුටා වටා ගෙතුණු ජනශ්‍රැති, ජනප්‍රවාද, ජනකතා බොහෝමයක් සමාජයේ පවතියි.
කපුටෙකු ඇඹුල් ගසක සිට කෑ ගැසීම නිවසට අමුත්තන් පැමිණෙන බව කියනා අනාවැකියක් බව පුරාතනයේ සිට පැවත එන විශ්වාසයකි.
ඒ වගේම කපුටෙකු ශරීරයට මලපහ කිරීම ලොතරැයි දිනුමක් වැනි වාසනාවක් උදාවීමට හේතුවන බවට ද ඇතමුන් අතර විශ්වාසයක් පවති. කෙසේ වෙතත් ප්‍රාදේශිය වශයෙන් මෙම විශ්වාසයන් සම්බන්ධව යම් යම් වෙනස්කම් පවතියි.
කිසිදා සැබෑවක් නොවන, කිසිදා උදා නොවන අවස්ථාවන් පිළිබඳව ඇඟවීමට, "කළු කපුටා සුදු වෙන තුරු, මෝල් ගහේ දළුලන තුරු" යනුවෙන් සමාජයේ ප්‍රසිද්ධ කියමනක් ද පවති.
කෙසේ වෙතත් මෑත කාලයේ දී කපුටා වඩාත් ජනප්‍රියත්වයට පත්වුයේ රට පුරාම පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවල දී “කපුටු කාක්.. කාක්..කාක්” යනුවෙන් සටන් පාඨයක් යොදා ගැනීම නිසාවෙනි.












