වසර 70කට පෙර වඳවී යෑමෙන් පසු ඉන්දියාවේ උපත ලැබූ පළමු චීටා පැටවුන්
- Author, ෆ්‍රැන්චෙස්කා ජිලට්
- Role, බීබීසී පුවත්
චීටා සතුන් එරටින් වඳවීගොස් ඇතැ යි නිල වශයෙන් ප්‍රකාශකර වසර 70කට වැඩි කලක් ගතවීමෙන් පසු, ඉන්දියාව චීටා පැටවුන් සිව්දෙනෙකුගේ උපත සමරමින් සිටියි.
එම සුබාරංචිය ප්‍රකාශයට පත්කළ ඉන්දීය පරිසර ඇමැතිවරයා, මෙම සිදුවීම "බාරදූර සිදුවීමක්" ලෙස හැඳින්වීය.
ඉන්දියාව දශක ගණනක් තිස්සේ මේ විශාල බළලුන් යළිත් සිය රටට හඳුන්වාදීමට තැත්කළ අතර, එම සැලැස්මේ කොටසක් වශයෙන් පසුගිය වසරේ දී නැමිබියාවෙන් චීටා සතුන් අටදෙනෙකු ඉන්දියාවට ගෙන ආවේ ය.
ගිය මාසයේ දී දකුණු අප්‍රිකාවේ සිට ද තවත් චීටා සතුන් දොළොස්දෙනෙකු ගෙන එනු ලැබුණි.
මේ පැටවුන් සිව්දෙනා උපත ලබා ඇත්තේ පසුගිය සැප්තැම්බරයේ දී නැමිබියාවේ සිට ගෙන එනු ලැබ, 'කූනෝ ජාතික උද්‍යානය' නම් වන සත්ත්ව අභය භූමියේ විසූ එක් ගැහැණු සතෙකුට ය.
ට්විටර් හරහා මෙම පුවත නිවේදනය කළ පරිසර අමාත්‍ය භුපේන්දර් යාදව් පැවසුවේ ඔහු "ප්‍රීතියෙන් පිනාගොස්" සිටිනබව යි.
"මම මුළු 'ප්‍රොජෙක්ට් චීටා' කණ්ඩායමටම සුබ පතනවා චීටා සතුන් ආපහු ඉන්දියාවට ගෙන එන්න ඔවුන් දරපු උත්සාහයටත්, අතීතයේ දී සිදුකෙරුණු පාරිසරික වරදක් නිවැරදි කරන්න දරන උත්සාහයටත්," ඔහු පැවසුවේ ය.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මේ "අසිරිමත් පුවත" පිළිබඳ සතුට පළකළේ ය.
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ඒජන්සිය වාර්තා කළ පරිදි, මෙම පැටවුන් දින පහකට පමණ ඉහත දී උපත ලබන්නට ඇතැ යි විශ්වාස කෙරෙන නමුත් නිලධාරීන්ට ඔවුන් ඇස ගැටී ඇත්තේ බදාදා (මාර්තු 29) ය.
මව් චීටා සත්ත්වයා වන සියායා සහා පැටවුන් සුවෙන් සහ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනබව උද්‍යාන නිලධාරියෙකු පුවත් ඒජන්සියට පවසා තිබුණි.
නමුත් අලුත උපන් පැටවුන් පිළිබඳ පුවත පැමිණෙන්නේ, කූනෝ ජාතික උද්‍යානයේ නැමිබියානු චීටාවුන් අටදෙනාගෙන් එකෙකු වකුගඩු අකර්මණ්‍යවීම නිසා මියයෑමෙන් දෙදිනකට පසු ය.
ගිය වසරේ ඔවුන් ඉන්දියාවට ප්‍රවාහනය කළ අවස්ථාව, එවැනි විශාල මාංශ භක්ෂකයෙකු එක් මහද්වීපයකින් තවත් මහද්වීපයකට ප්‍රවාහනයකර ස්වභාවික වනයට යළි හඳුන්වාදුන් ප්‍රථම අවස්ථාව විය.
ලොව වේගවත්ම ගොඩබිම සත්ත්වයා වන චීටා, දඩයම් කිරීම, වාසස්ථාන අහිමිවීම හා ආහාරයට ප්‍රමාණවත් තරම් සතුන් නොමැතිකම නිසා වසර ගණනක් තිස්සේ ගහණය පහත වැටීමෙන් අනතුරුව, 1952 දී ඉන්දියාවෙන් වඳවී ගියබවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරිණ.
ලොව දැනට වෙසෙන චීටාවුන් 7000න් අතිබහුතරය වෙසෙන්නේ අප්‍රිකානු රටවල් වන දකුණු අප්‍රිකාව, නැමිබියාව, හා බොට්ස්වානාවේ ය.
ආසියාතික චීටා විශේෂය උග්‍ර ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව සිටින අතර, දැනට හමුවන්නේ ඉරානයෙන් පමණි. එහි ද ගහණය සතුන් 50ක් පමණකැ යි සිතනු ලැබේ.
ස්වභාව ධර්මය සංරක්ෂණය සඳහාවූ ජාත්‍යන්තර සංගමයේ තර්ජනයට ලක්වූ විශේෂයන්හි රතු ලැයිස්තුවේ, චීටා ගෝලීය වශයෙන් "අවදානමට ලක්විය හැකි" විශේෂයක් ලෙස ලැයිස්තුගතකර තිබේ.
ගොදුරක් ලුහුබඳිමින් තණබිම් හරහා දුවද්දී පැයට කි.මී. 112ක වේගයකට ළඟාවීමට චීටාවුන් සමත් ය.












