2025 වසරේ විශේෂ සිදුවීම් දෙස ආපසු හැරී බැලීමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
2025 වසර ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජීය ඇතුළු විවිධ විශේෂ සිදුවීම් සිදුවූ වසරකි.
මෙම වසරේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ මුදල් අවභාවිතාවයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හට විජේරාම නිල නිවසින් පිටවීමට සිදුවිය.
එමෙන් ම වසර අවසානයේ ශ්‍රී ලංකාව 'දිට්වා' සුළි කුණාටුවට මුහුණ දීමට ද සිදු විය. මේ 2025 වසරේ සිදුවූ දේවල් සම්බන්ධ නැවත හැරී බැලීමකි.
ජනවාරි
පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙළ අනුව රටේ පරිසරය පිරිසිදු කිරීමට අමතරව ලොව දියුණු රටවල ජනතාව භුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් උරුම කර දීමේ අරමුණින් Clean Sri Lanka වැඩසටහන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථික, සාමාජීය, සංස්කෘතික සහ ජනමාධ්‍ය අංශවලට අදාළව අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් තැබිණි.
ජනවාරි 17 සහ 18 යන දෙදින තුළ මෙසේ ආනයනික බහාලුම් 323ක් රේගු නිෂ්කාෂණය ලක් නොකර නිදහස් කර ඇති බව රේගු නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ය. එම බහාලුම් නිදහස් කරනු ලැබුවේ දැනට පවතින බහාලුම් තදබදයට තාවකාලික විසඳුමක් ලෙස යැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ (ජනවාරි 22 වන දා) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ය. විනිවිදභාවයකින් යුතුව මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වූ බවත් මේ හරහා කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදුනොවූ බවට අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ අවධාරණය කළේ ය.
2020 වර්ෂයේ සිට තාවකාලිකව නවතා තිබුණු වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් කෙරිණි. ඒ අනුව ජනවාරි 28 සිට වාහන ගෙන්වීමට අවසර හිමි විය.
පෙබරවාරි
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පානදුර උපපොළේ සිදුවූ දෝෂයක් නිසා දිවයින පුරා විදුලි බිඳ වැටීමක් සිදුවූ අතර "වඳුරෙකු ගැටීම" ඊට හේතු වූ බව ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ බීබීසී සිංහල වෙත පැවසීය.
සුළං විදුලි බලාගාර පද්ධතියක් මන්නාරමේ ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් ඉවත්වීමට තීරණය කළ බව ඉන්දියාවේ අදානි සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් වෙත ලිපියක් යොමු කරමින් මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වන බවට එම සමාගම නිල වශයෙන් දැනුම් දුන්නේ ය.
සම්ප්‍රදායානුකූලව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. රාජ්‍ය අංශයේ අවම මාසික වැටුප රු. 24,250 සිට රු. 40,000 දක්වා ඉහළ දැමීමට එම අයවැයෙන් යෝජනා කෙරිණි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ වෙඩි තබා ඝාතනය කෙරිණි. පොලිසිය පවසන අන්දමට නීතිඥවරයෙකු ලෙස සැරසී පැමිණි තුවක්කුකරුවෙකු ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා තිබිණි.

මාර්තු
බටලන්ද කොමිෂන් වාර්තාව පිළිබඳව යළි කතා බහක් මතු වූයේ රනිල් වික්‍රමසිංහ සහභාගී වූ අල් ජසීරා නාලිකාවේ විකාශය කෙරුණු 'Head to Head' වැඩසටහනේදී ඒ පිළිබඳව ඔහුගෙන් විමසූ ප්‍රශ්නයක් සමග ය. එම සිදුවීම බටලන්ද කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීම දක්වා ඔඩු දිවීය.
මිනිසුන් වාසය කරන පෙදෙස්වලට පැමිණෙන වන සතුන් පිළිබඳ සංගණනයක් සිදු කරන ලදී. රිළවා, වඳුරා, මොනරා සහ දඬුලේනා යන සතුන් මෙම සංගණනයේදී ගණනය කිරීම සිදු විය.
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි 'W15' හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට භාරවීමෙන් පසුව එවකට පොලිස්පතිවරයා වූ දේශබන්දු තෙන්නකෝන් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අප්‍රේල්
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකින් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරුබදු පනවන ලද අතර මුල් අවස්ථාවේදී ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා 44%ක නව තීරු බද්දක් පැනවිණි.
දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව, ඩිජිටල්කරණ සහයෝගීතාව, සෞඛ්‍ය සහයෝගීතාව පිළිබඳ ගිවිසුම්වලට සහ බලශක්ති සහයෝගීතාවට අදාළ ගිවිසුම් මෙන් ම, දෙරට අතර දැනටමත් අත්සන් කර ඇති ණය ප්‍රතිව්‍යූගතකරණයට අදාළ ගිවිසුම ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය අතරතුර හුවමාරු කර ගැනිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉල්ලීම මත, වසර 16කට පසු මෙම දළදා ප්‍රදර්ශනය සිදු විය.

ඡායාරූප මූලාශ්‍රය, X | NARENDRA MODI
මැයි
මහ නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275ක් ඇතුළු පළාත් පාලන ආයතන 339ක් සඳහා නියෝජිතයන් 8,000කට වැඩි ප්‍රමාණයක් තෝරා ගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්විණි. කල්මුණේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර සෙසු පළාත් පාලන ආයතන සඳහා පමණක් මෙය පැවැත්විණි.
කොත්මලේ - රම්බොඩ, ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 20කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. සැප්තැම්බර් මාසයේදී ඇල්ල ප්‍රදේශයේදී ද මෙවැනි ම බස් අනතුරක් සිදුවූ අතර ඉන් පුද්ගලයින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 78 හැවිරිදි වියේ සිටි මාලිනී ෆොන්සේකා ජීවිතයට සමු දුන්නා ය.
කැරම් බෝඩ් 140,00ක් සහ දාම් ලෑලි 110,00ක් මිල දී ගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළ බවට චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස. හිටපු සභාපති සහ හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.
ජූනි
යාපනය, චෙම්මනි – සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයක සිදු කළ කැණීමකින් මළ සිරුරු 5කට අයත් අස්ථි කොටස් කිහිපයක් හමුවූ අතර අදියර 5ක් යටතේ සිදු කළ කැණීම්වලින් මිනිස් සිරුරු 240කට අදාළ අස්ථි කොටස් මතු කර ගත්තේ ය.
කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය දිනා ගත් අතර ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස තේරී පත් වූවා ය.
වැලිමඩ ධම්මදින්නා නම් භික්‍ෂුණියට "භික්‍ෂුණී පදනම" යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී මිල දී ගත් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්වල "මාරාන්තික විෂ සහිත බැක්ටීරීයා" අඩංගු බවට ත්, පිළිකා රෝගීන් සඳහා භාවිත කරන රිටොක්සිමැබ් නමැති ප්‍රතිදේහ එන්නත්වල අඩංගු වී ඇත්තේ "ලුණු වතුර" බවටත් අධිකරණයේදී හෙළි විය.
වසර 9කට පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, මානව හිමිකම් උල්ලංඝනයන්ට ගොදුරු වූවන් සඳහා වගවීම සහ ඵලදායී පිළියම් මෙන් ම ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් ඇතුළු පුළුල් පරාසයක මානව හිමිකම් ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම එහි අරමුණ විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජූලි
අනිවාර්ය නිවාඩු යවා සිටි දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරින් ඉවත් කළ යුතු ද යන්න තීරණය කිරීමට පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද පරීක්ෂණ කමිටුවේ වාර්තාව අනුව, හිටපු පොලිස්පතිවරයාට එල්ල වී ඇති චෝදනාවලට ඔහු වරදකරු බවට එම පරීක්ෂණ කමිටුව ඒකමතිකව තීන්දු ඇති බවට කතානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.
හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විශ්‍රාම යාමෙන් පසුව එම ධූරයේ පුරප්පාඩුව සඳහා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින දෙවන ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වූ ප්‍රීති පද්මන් සූරසේන ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
අගෝස්තු
වැඩ තහනමට ලක්ව සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කී සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දහස් ගණනක ආදායමක් ලැබී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා ය.
විදෙස් සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණයකට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැප්තැම්බර්
ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත බහුතර ඡන්දයෙන් සම්මත වීමත් සමග රජයේ නිල නිවාස භාවිත කරමින් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂහට නිල නිවසින් ඉවත්ව යාමට සිදු විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔක්තෝබර්
ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පළමු කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු කෙරිණි. මේ යටතේ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
වසර 17කට පසුව ඉන්දියාවේදී පැවැත්වුණු සිව් වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 16ක් ඇතුළු පදක්කම් 40ක් දිනා ගනිමින් එහි අනුශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙම තරගාවලියේදී සෆියා යාමික් මීටර් 100, මීටර් 200 සහ මීටර් 100 සහය දිවීම යන ඉසව් තුනෙන් ම රන් පදක්කම් දිනා ගත්තා ය.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK
නොවැම්බර්
බහාලුම් මලු, නැතහොත් අප සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත කරන සිලි බෑග් නොමිලේ ලබා දීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.
දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය සඳහා වන දියවඩන නිලමේ ධූරය සඳහා ප්‍රදීප් නිලංග දෑළ යළිත් තේරී පත් වූයේ වැඩි ම වාර ගණනකින් දියවඩන නිලමේ ධූරයට පත් වූ අයෙකු ලෙස ඉතිහාසයට එක් වෙමිනි.
'දිට්වා' සුළි කුණාටුව සමග ශ්‍රී ලංකාවට බලපෑ දරුණු ගංවතුරෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට විය. ආපදා මරණ ගණන 600 ඉක්මවා ගියේ ය. ඉන් සිදුවූ හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4.1ක හානි සිදුවී ඇතැයි ප්‍රකාශ විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දෙසැම්බර්
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ශ්‍රී ලංකාවේ ජනතාව නැවත නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව එම සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඔන්ඩ්‍රේ ෆ්‍රාන්ච් පැවසීය.
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු ම තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට අවස්ථාව සැලසීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් කඩිනම් මූල්‍ය උපකරණය යටතේ ශ්‍රී ලංකාවට ඇ. ඩොලර් මිලියන 206ක පමණ මූල්‍ය පහසුකමක් වෙත ප්‍රවේශය ලබා දෙමින්, හදිසි මූල්‍යනය ලබා දීම අනුමත කෙරිණි.














