'ඊළඟ බලාපොරොත්තුව 2028 ලංකාවට ඔලිම්පික් මෙඩ්ල් එකක් ගේන එක': ත්‍රිත්ව රන් පදක්කම්ලාභී සෆියා යාමික් කී කතාව
තමාගේ මීළඟ බලාපොරොත්තුව 2028 පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් ජයග්‍රහණය කිරීම බව දකුණු ආසියාවේ වේගවත් ම කාන්තාව බවට පත්වූ සෆියා යාමික් පැවසීය.
ඇය ඒ බව ප්‍රකාශ කළේ, සිව් වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අවසන් කර අද (ඔක්: 28) යළි දිවයිනට පැමිණීමෙන් පසුව මාධ්‍යවේදීන් අමතමිනි.
සිව් වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක්, ලෝකඩ පදක්කම් 10ක් ද සමගින් මුළු පදක්කම් 40ක් ලබා අනුශූරතාව හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට පැමිණියේ ය.
මෙම තරගාවලියේදී සෆියා යාමික් මීටර් 100, මීටර් 200 සහ මීටර් 100 සහය දිවීම යන ඉසව් තුනෙන් ම රන් පදක්කම් දිනා ගත්තා ය.
තරගාවලි වාර්තාවක් ද සමගින් ඇය මීටර් 200 තරග ඉසව්ව අවසන් කළේ, තත්පර 23.58ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.
ඇය බිඳ දැමුවේ, වසර 27කට පෙර ඉන්දීය ක්‍රීඩිකා පී.ටී. ඌෂා පිහිටුවා තිබූ වාර්තාව යි.









