ශ්‍රී ලංකාව රනින් සැරසූ 'පොඩි තරුෂි'

මෑත ඉතිහාසයේදී මලල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවට රැගෙන ගියේ තරුෂි කරුණාරත්න ය.
    • Author, බීබීසී සිංහල

මෑත ඉතිහාසයේදී මලල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවට රැගෙන ගියේ තරුෂි කරුණාරත්න ය.

නැවත වරක් මලල ක්‍රීඩා පිටිය තුළ තරුෂි යන නාමය කතා බහට ලක් වූයේ අප්‍රේල් 18 සෞදි අරාබියේදී පැවති වයස අවුරුදු 18න් පහළ මීටර් 800 කාන්තා තරගයේදී තරුෂි අභිෂේකා ලද ජයග්‍රහණයත් සමග යි.

තරග ආරම්භයේ සිට චීන ජාතික ක්‍රීඩිකාවක වූ, යේ මෙයිලෙන්ග් සමග කරට කර ධාවනයක නිරත වීමට තරුෂි අභිෂේකා සමත් වූවා ය.

තරගයේ අවසන් මීටර් 50 තුළදී චීන ජාතික ක්‍රීඩිකාව අභිබවා යමින් 10 වසරකට පසුව ශ්‍රී ලංකාවට වයස අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම හිමිකර දීමට ඇය සමත් විය.

තරුෂි අභිෂේකා කියන්නේ කවුද?

මහදුර ගෙදර තරුෂි අභිෂේකා උපත ලබන්නේ 2008 වසරේ ඔක්තෝබර් මස 30 වැනි දා ගලේවල, නිලගම ප්‍රදේශයේදී ය.

දඹුල්ල ජාතික පාසැලේ අධ්‍යාපනය හදාරමින් සිටි ඇයට මීට වසර දෙකකට පමණ ඉහතදී ගම්පොළ වික්‍රමභාහු ජාතික පාසලට ඇතුළත් වීමට අවස්ථාව හිමි වී තිබුණේ මලල ක්‍රීඩා පිටියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ය.

මීටර් 800 ඉසව්වට අමතරව තරුෂි අභිෂේකා මීටර් 400 සහ මීටර් 1500 තරග ඉසව් ද නියෝජනය කරයි.

ඉකුත් 2024 වසරේ පැවති සමස්ත ලංකා පාසැල් ක්‍රීඩා තරගාවලියේදී තරුෂි වසර 39ක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට සමත් වූවා ය.

එහිදී මීටර් 1500 ධාවන ඉසව්ව මිනිත්තු 04යි තත්පර 29 යි දශම 9 යි 7කින් අවසන් කළ තරුෂි බිඳ දැමුවේ මෙරටින් බිහිවූ දක්ෂ ක්‍රීඩිකාවක් වන ධම්මිකා මැණිකේ ඊට වසර 39 කට පෙර තබා තිබුණු මිනිත්තු 04යි තත්පර 35යි දශම 7ක් වූ වාර්තාව ය.

එමෙන් ම තරුෂි අභිෂේකා 2024 වසරේ ඉන්දියාවේදී පැවති වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූවා ය.

Tharushi Abhisheka holding a medal.
ඡායාරූප ශීර්ෂ වැකිය, බීබීසී සිංහල සමග අදහස් දක්වමින් ගම්පොළ වික්‍රමභාහු ජාතික පාසලේ විදුහල්පතිනිය වන කෝකිලා එදිරිසිංහ පවසා සිටියේ, තරුෂි අභිශේකා ක්‍රීඩාවට මෙන් ම අධ්‍යාපනය අතින් ද දක්ෂතා දක්වන බවයි

'ඇය දක්ෂ ක්‍රීඩිකාවක්'

බීබීසී සිංහල සමග අදහස් දක්වමින් ගම්පොළ වික්‍රමභාහු ජාතික පාසැලේ විදුහල්පතිනිය වන කෝකිලා එදිරිසිංහ පවසා සිටියේ, තරුෂි අභිෂේකා ක්‍රීඩාවට මෙන් ම අධ්‍යාපනය අතින් ද දක්ෂතා දක්වන බවයි.

"මීට අවුරුදු දෙකකට කලින් තරුෂිව ගම්පොළ වික්‍රමභාහු ජාතික පාසලට එක්කන් ආවේ අපේ පාසලේ ක්‍රීඩා පුහුණුකරු බුද්ධික නුවන්. බුද්ධික නුවන් ක්‍රීඩා පුහුණුකරු තමයි අපේ පාසලේ ළමයි අරන් ජාතික සහ පළාත් තරගවලට යන්නේ. එතැනදී තමයි තරුෂිව දැකලා අපේ ඉස්කෝලෙට ඇතුළත් කර ගන්න කටයුතු කළේ. තරුෂි ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉදලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නේ.

"එයා අධ්‍යාපනයට වගේ ම මලල ක්‍රීඩාව වෙනුවෙනුත් ලොකු කැපකිරීමක් කරනවා," විදුහල්පතිනිය පැවසුවා ය.

'මීළඟ බලාපොරොත්තුව ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය'

තරුෂි අභිෂේකා බීබීසී සිංහල වෙත පැවසුවේ, සෞදි අරාබියේ පැවති දේශගුණික තත්ත්වය යටතේ ක්‍රීඩා කිරීමට ලැබීම විශාල අභියෝගයක් වූ බව ය.

"ඒ රටේ පැවති දේශගුණික තත්ත්වයත් මත අපිට තරග කටයුතු කර ගැනීම ගොඩක් ලොකු අභියෝගයක් වුණා. ඒ වුණාට එම අභියෝගය හමුවේ වුණාත් මේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.

"මගේ මීළඟ ආසන්න ම බලාපොරොත්තුව බහරේන්වල පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කමක් මෙරටට ගෙන එන එක," ඇය පැවසුවා ය.

'10 වසරකට පසු ජයග්‍රහණය කළ රන් පදක්කම'

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ වැඩි ම පදක්කම් සංඛ්‍යාව මෙය වන බවයි.

"වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය මුලින් ම ආරම්භ වන්නේ 2015 වසරේදී. මේ අවුරුද්දේ ශ්‍රී ලංකා කණ්ඩායමට පදක්කම් 8ක් ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණා. ඒ වගේ ම මෙවර අපේ ක්‍රීඩිකාවක්ට රන් පදක්කමක් ජයග්‍රහණය කරන්න හැකි වුණා. මේ තරගාවලියේදී අපිට රන් පදක්කමක් දිනා ගන්න ලැබුණේ අවුරුදු 10 කට පස්සේ. ඒක සතුටට කාරණාවක්," මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා පැවසී ය.

සෞදි අරාබියේ පැවති 06 වන ආසියානු යොවුන් මළළ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වයස අවුරුදු 18 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (අප්‍රේල් 20 වැනිදා) අළුයම දිවයිනට පැමිණියහ.
ඡායාරූප ශීර්ෂ වැකිය, 'වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ වැඩි ම පදක්කම් සංඛ්‍යාව මෙයයි'

ශ්‍රී ලංකාවට පදක්කම් 8ක්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සෞදි අරාබියේ පැවති 6 වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වයස අවුරුදු 18න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (අප්‍රේල් 20 වැනි දා) අලුයම දිවයිනට පැමිණියහ.

6 වන වරටත් පැවති මෙම තරගාවලිය සඳහා රටවල් 31ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර එහිදී ශ්‍රී ලංකාව සමස්ත තරගාවලියේ පදක්කම් සටහනේ 9 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක්, ලෝකඩ පදක්කම් 4ක් සමගින් සමස්ත පදක්කම් 8ක් හිමි විය.

තුන් පිම්ම ඉසව්ව සදහා සහභාගී වූ අවිශ්ක ජෙන්කින්ස්, මීටර් 200 කාන්තා ධාවන ඉසව්වට සහභාගී වූ ධනංජනා ප්‍රනාන්දු සහ කාන්තා මෙඩ්ලි සහය දිවීමේ ඉසව්වට සහභාගී වූ ධනංජනා ප්‍රනාන්දු, තරුෂි අභිෂේකා, හිමාෂනී සංසලා සහ දිල්කි නිහාරා රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

මීට අමතරව මෙම තරගාවලිය සහභාගී වූ උස පැනීම පිරිමි ඉසව්වට සහභාගී වූ පවන් නිත්‍ය, මීටර් 800 පිරිමි ධාවන ඉසව්වට සහභාගී වූ සවිදු අවිශ්කw, මීටර් 1,500 පිරිමි ධාවන ඉසව්වට සහභාගී වූ ළහිරු අචිත්ත සහ කාන්තා තුන් පිම්ම ඉසව්වට සහභාගී වූ දිල්කි නිහාරා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.