සුසන්තිකා ජයසිංහගේ අලුත් තනතුර: "හෙට මගේ තනතුර නැති වේවි"

මේ තනතුර කොයි තරම් කාලයක් මට තියෙයි ද කියන එක ප්‍රශ්නයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මේ තනතුර කොයි තරම් කාලයක් මට තියෙයි ද කියන එක ප්‍රශ්නයක්"

තමන්ගේ මරණයට පෙර ශ්‍රී ලංකාවට තවත් ඔලිම්පික් පදක්කම් ලාභියෙකු බිහි කිරීම සිය එකම බලාපොරොත්තුව බව සුසන්තිකා ජයසිංහ පවසන්නීය.

ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා මේ බව කියා සිටියේ ජාතික ඔලිම්පික් කමිටුවේ අධ්‍යක්ෂිකාවක ලෙස පත්වීම් ලැබීමෙන් අනතුරුව සිය කාර්යභාරය පැහැදිලි කරමින්, බීබීසී සිංහල සේවය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී ය.

"මගේ එකම ප්‍රාර්ථනය තමයි මම වගේම දක්ෂයෙක් මගේ මාතෘ භූමියට බිහිකරලා මැරිලා යන එක. ඔලිම්පික් පදක්කම් ලාභියෙක් බිහිකරන එක. හරි ක්‍රමවේදයකට කළොත් තව අවුරුදු තුන හතරකින් ඒක කරන්න බැරි වෙන එකක් නැහැ." ඇය ප්‍රකාශ කළාය.

නමුත් "මේ තනතුර කොයි තරම් කාලයක් මට තියෙයිද කියන එක ප්‍රශ්නයක්," යනුවෙන් ඇය කිසියම් අවිනිශ්චිත භාවයක් ද මතු කළාය.

බලමු කොයි තරම් දුරක් යන්න පුළුවන් වෙයිද කියල."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "බලමු කොයි තරම් දුරක් යන්න පුළුවන් වෙයිද කියල"

ක්‍රීඩා ක්ෂේත්‍රයට අනිසි දේශපාලන මැදිහත්වීම් පැවතීමත් වරින් වර පත් වන ක්‍රීඩා ඇමතිවරුන් එක් එක් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යාමත් හේතු කොට ගෙන දීර්ඝ කාලීන ක්‍රියාදාමයක් පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් නිරන්තරයෙන් දක්නට ලැබුණු බවත් සුසන්තිකාගේ මතයයි.

"අතහිත දෙයි ද? අකුල් හෙලයි ද?"

ජාතික ඔලිම්පික් කමිටුවේ 'ඉහළ දක්ෂතා - අධ්‍යක්‍ෂිකා' තනතුරට තමන් පත් කර ඇති බවත් ඒ හරහා තමන්ගේ අනාගත බලාපොරොත්තුව ඉටු කර ගැනීම සඳහා සැලැස්මක් දැනටමත් ආරම්භ කර ඇති බවත් ඇය පවසන්නීය.

"ක්‍රීඩාව නවත්වලා අවුරුදු දහයක් ගියාට පස්සේ හරි මට ඔලිම්පික් කමිටුවේ වගකිව යුතු තනතුරක් ලැබිල තියෙනවා. ප්‍රමාද වෙලා හරි මට ඒ අවස්ථාව දීම ගැන ගරු කරනවා. මම ප්‍රමාද නොවී වැඩ පටන් ගත්ත."

"ඉතින් මේකට කොයිතරම් දුරට අතහිත දෙයි ද, අකුල් හෙලයි ද කියල මම දන්නේ නැහැ. හැබැයි මම බලාපොරොත්තු අත්හරින්නේ නැහැ. බලමු කොයි තරම් දුරක් යන්න පුළුවන් වෙයිද කියල." සුසන්තිකා පැවසුවාය.

අපේ රටේ ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඇත්තටම ශක්ති සම්පන්නයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "අපේ රටේ ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඇත්තටම ශක්ති සම්පන්නයි"

තවත් ඔලිම්පික් පදක්කම් ලාභියෙකු බිහි කිරීමෙහි ලා පවතින ප්‍රධානතම අඩු පාඩුව ලෙස ඇය දකින්නේ ඒ සඳහා සුදුසු පුහුණුකරුවන් නොමැති කම සහ නිසි ක්‍රමවේදයක් නොමැති කමය.

"අපේ රටේ තරම් ශක්තිමත්, ජව සම්පන්න ජාතියක් තවත් ලෝකයේ ඉන්නවද කියන එක මට නම් ප්‍රශ්නයක්. අපේ රටේ ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඇත්තටම ශක්ති සම්පන්නයි. නමුත් අවාසනාවකට අපිට ක්‍රමවේදයක් නැහැ."

"පුහුණුකරුවෝ දැන් අපේ රටේ නැහැ"

එවකට සිටි පුහුණුකරුවන් අගය කරමින් කතා කළ සුසන්තිකා තවදුරටත් කියා සිටියේ "හරි හැටි පුහුණුකරුවෝ දැන් නැහැ. එදා හිටියා. අද ඉන්න පුහුණු කරුවන් මම අගේ කරනවා, ප්‍රශංසා කරනවා. ඒත් මං හිතන්නේ නැහැ දැන් ඉන්න අය ඒ පුහුණුව දන්නවා කියල," යනුවෙනි.

"දැන් ඉන්නේ ක්‍රීඩකයන්ව බලා ගන්න අය. දකුණු ආසියාව දිනන්නවත් හැකියාව තියෙන පුහුණුකරුවෝ දැන් අපේ රටේ නැහැ."

සුසන්තිකා ක්‍රීඩා කළ යුගය ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ස්වර්ණමය යුගය ලෙස බොහෝ විචාරකයෝ හඳුන්වති. ඊට හේතු ලෙස ඔවුන් දක්වන්නේ සුසන්තිකා හැරුණු කොට තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම අන්තර්ජාතික මට්ටමින් දස්කම් පා පදක්කම් රැගෙන ඒමය.

දමයන්ති දර්ශා, ශ්‍රියානි කුලවංශ, සුගත් තිලකරත්න, ජයමිණි ඉලේපෙරුම ඇතුළු කිහිප දෙනෙකුම ඒ අතර කැපී පෙනුනි.

ලංකාවේ කරපු දෙයකින් නෙවෙයිනෙ මම ඔලිම්පික් පදක්කමක් ගෙනාවේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ලංකාවේ කරපු දෙයකින් නෙවෙයිනෙ මම ඔලිම්පික් පදක්කමක් ගෙනාවේ"

නමුත්, පසුකාලීනව ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව එවැනි ඉහළ මට්ටමකට නොපැමිණීම පිළිබඳව අදහස් දක්වමින් සුසන්තිකා කියා සිටියේ "ඔය කුණු කතා කරලා වැඩක් නැහැ. ලොකු පුටුවල ඉන්න අය කොන්ද පණ ඇතිව හරි මිනිස්සු තනතුරුවලට පත් කරන්න ඕන," යනුවෙනි.

"දැන් මම ගියොත් කොහොමද මුදල් අමාත්‍යංශයට. එහෙම නැත්නම් කෘෂිකර්ම අමාත්‍යංශයට?" ඇය ප්‍රශ්න කළාය.

"මෙහෙමයි ඉතින්. ක්‍රීඩාවේ පරිපාලනයට එන්න ඕන ක්‍රීඩා කරපු අය. බෝලයක්වත් ගහපු නැති කෙනෙක් ක්‍රීඩාවේ අමාරුව, දුක දන්නේ නැහැනේ. අවාසනාවකට අපේ රටේ ලොකු පුටුවලට එහෙම අය පත්වෙන්නේ නැහැ. අපි දැක්කේ එකම සභාපතිවරයෙක්. නමුත් කරපු වැඩසටහන් කෝ?"

"මගේ කට"

"මගේ වාසනාවට මම ඇමරිකාවට ගිහිල්ල ටෝනි කැම්බල් මහත්මයා හම්බවෙලා පුහුණුව ලබල මම ඔලිම්පික් පදක්කමක් ගත්ත. නැතුව ලංකාවේ කරපු දෙයකින් නෙවෙයිනෙ මම ඔලිම්පික් පදක්කමක් ගෙනාවේ." ඇය තව දුරටත් ප්‍රකාශ කළාය.

ඔලිම්පික් පදක්කමක් දිනා වසර 10ක් ගෙවී ගොස් අවසාන වී ඇති නමුත් මේ වන තුරු මලල ක්‍රීඩා සංගමය තමන්ගෙන් "වැඩක් ගැනීමට" පෙළඹී නොමැති බව සුසන්තිකා පවසන්නීය.

"හැමෝම කියනවා මගේ කට හොඳ නැහැ කියල. හෙට මගේ තනතුර නැති වේවි. ඒත් මේක තමා යථාර්තය."

අද තියෙන්නේ ප්‍රාර්ථනාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මම මගේ ඉලක්ක සපුරාගෙන ඉවරයි. අද තියෙන්නේ ප්‍රාර්ථනාවක්"

ජාතික ඔලිම්පික් කමිටුවේ අධ්‍යක්ෂිකාවක ලෙස තම කාර්යභාරය පැහැදිලි කරමින් ඇය කියා සිටියේ නව සැලැස්මක් යටතේ කටයුතු කිරීම සඳහා ලොව සිටින හොඳම පුහුණුකරුවෙකු තමන් හා එක් වී සිටින බවය.

"මගේ වැඩසටහන මම ආරම්භ කරලා ඉවරයි. ලෝකේ ඉන්න හොඳම පුහුණු කරුවෙක් වන ඇමරිකාවේ ටෝනි කැම්බල් මහත්මයා මම හමුවුනා. උපදෙස් ලබා ගත්තා. ඔලිම්පික් කමිටුව එක්ක සාකච්ඡා කළා. ගිය සතියේ ටෝනි කැම්බෙල් ලංකාවට ගෙන්වා ගත්තා."

ඉන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ ද ඒ පිළිබඳව සාකච්ඡා කළ බව ඇය සඳහන් කළාය.

"අධ්‍යාපන ඇමතිතුමා හමුවෙන්න උත්සහ කළා. එතුමා කාර්ය බහුල නිසා දුරකතනයෙන් මම සාකච්ඡා කළා. මම හිතනවා තව මාස තුන හතරකින් අපේ අය ඒ පුහුණුකරුවා නැවත ලංකාවට ගෙන්වා ගනීවි කියල. එහෙම උනොත් ලංකාවේ ක්‍රීඩාවට සෙතක් වේවි." සුසන්තිකා තවදුරටත් පැහැදිලි කළාය.

ගමේ ළමයි

බොහෝ දක්ෂතා සහිත ළමුන් ගම්බදව සිටින අතර ඔවුන් හඳුනාගෙන නිසි ඉලක්කයක් කරා ඔවුන් රැගෙන යාම සඳහා දීර්ඝ කාලීන වැඩසටහනක් ශ්‍රී ලංකාවට අවශ්‍ය ව පවතින බව ඇය අවධාරණය කරන්නීය.

"මම මගේ ඉලක්ක සපුරාගෙන ඉවරයි. ඒත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා තවත් මම වගේ දක්ෂයෙක් නැවත රටට බිහි කරන්න. එදා මගේ ඉලක්කය වුනේ ඔලිම්පික් ජය ගන්න. අද තියෙන්නේ ප්‍රාර්ථනාවක්. මං වගේම දක්ෂතා තියෙන අය ගමේ ඉන්නවා." සුසන්තිකා පැවසුවාය.

කියවන්න: