තරුෂි කරුණාරත්න: 'අපේ කියලා ඇයව රටේම තියා ගන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආසියානු මලල ක්‍රීඩා උළෙලේදී වසර 21 කට පසුව ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දුන් තරුෂි කරුණාරත්නගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු චීනයේ සිට බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ මෙම ජයග්‍රහණය පිළිබඳ තමන් ඉතා සතුටු වන බවයි.
"මේ ජයග්‍රහණය සම්බන්ධව මම ගොඩක් සතුටු වනවා. 34 වසරක් මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වශයෙන් ජාත්‍යන්තරව රන් පදක්කම් රැසක් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ශ්‍රී ලංකාවට දයාද කර දුන්නා."
"එහිදී ඉතා වටිනාම පදක්කම් දිනා දුන්නේ තරුෂි. මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනා ගත්ත තරුෂිගේ පුහුණුකරුවීම පිළිබඳව." ඔහු පැවසුවේය.
“මේක පහසුවෙන් පැමිණි ගමනක් නෙමෙයි”
තරුෂි කරුණාරත්න ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් ජයග්‍රහණය කිරීම සඳහා පැමිණි ගමන් මග පහසු එකක් නොවන බව ඇයගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු සඳහන් කර සිටියේය.
"ඇත්තම කියනව නම් මේක පහසුවෙන් ආපු ගමනක් නොවෙයි. අවුරුදු 12 දී තමයි තරුෂි මා ගාවට එන්නේ. ඉතින් ඇයගේ දක්ෂතාවය පරික්ෂාවට භාජනය කරලා, ඇයට තරග වැදිය හැකි ඉසව් මොනවාද කියා හඳුනාගෙන පියවරෙන් පියවර විද්‍යාත්මකව දක්ෂතා දියුණු කරගනිමින් තමා මේ ගමන ආවේ."
"අපේ පළවෙනි ඉලක්කය තිබ්බා ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙල ජයග්‍රහණය කරන්න. ඊට පස්සේ ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලිය ජයග්‍රහණය කළා. ඊට පස්සේ ආසියාවේ තියෙන ප්‍රබලතම ක්‍රීඩා උළෙල වන ආසියානු ක්‍රීඩා උළෙල ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණා."
බිඳ වැටුණු බලාපොරොත්තුව
මිටර් 800 තරග ඉසව්වේදී හොඳ කාලයක් වාර්තා කිරීමට තරුෂි කරුණාරත්න බලාපොරොත්තුව සිටියද, එය කිරීමට නොහැකි වූ බව පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු පවසා සිටියේය.
"තරුෂි මේ වෙන කොට ඉහළ දක්ෂතාවයක තමයි හිටියේ.මීටර් 800 තරග ඉසව්ව කියන්නේ එක පැත්තකින් කලාත්මක ඉසව්වක්. මේකේ පළවෙනි මීටර් 400 දුවන විදිහට තමයි තරගයේ කාලය තීරණය වෙන්නේ."
"අපිට සැලසුම් කරගන්න වුනා රේස් එක ස්ලෝ වුනොත් කොහොමද, රේස් එක ෆාස්ට් වුනොත් දුවන්නේ කොහොමද කියලා."
"අපේ ආවාසනාවට රේස් එක ස්ලෝ වුනා. පළවෙනි කෝනර් දෙක ගියේ තත්පර 62 කට වගේ. ඒ නිසා අපිට සැලසුම තිබුනේ රන් පදක්කම දිනීම පමණයි, දක්ෂතා ඉහළ නංවන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ පළවෙනි කෝනර් දෙක ස්ලෝ වුන නිසා."
"ඊයේ රේස් එක ස්පීඩ් වුණා නම් තරුෂි හිටියේ හොඳ කාලයක් වාර්තා කිරීමේ සුදානමින්." ඔහු පැවසුවේය.
"මේක අපි සතුටු වෙනවා වගේම ලෝකය දින්නා කියලා හිතන්නේ නැහැ"
ඉදිරියේදී ඇති ධාවන තරග ඉසව් සඳහා තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව පියවරෙන් පියවර ගෙන යාමට තමන් පුහුණුකරු ලෙස බලාපොරොත්තුවන බව ඔහු පවසයි.
"අපේ ඉලක්කයේ මැද හරියකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉදිරියේදී පොදුරාජ්‍ය මණ්ඩලීය, ලෝක සහ ඔලිම්පික් කියන අදියර තුන තමයි තියෙන්නේ අපි ඉස්සරහා. ඉතින් මේක බොහොම ප්‍රවේසමෙන් පියවරෙන් පියවර තමයි අපි යා යුත්තේ."
"මේ දක්ෂතාවය එක්ක රජයෙන් යම් අනුග්‍රහයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා."
මේ වෙනකොටත් තරුෂිගේ ක්‍රීඩා කටයුතු වලට යම් අනුග්‍රහයක් ලැබෙනවා පෞද්ගලික අංශයෙන්. නමුත් ඇයට ඉදිරියට යන්න ආර්ථික වශයෙන් ශක්තියක් ලැබෙන්න ඕන. ලොකු වියදමක් යනවා. දුවන්න අවශ්‍ය කරන සපත්තු කුට්ටමක් දැන් රුපියල් අනුදහසෙන් ඉහළට තමයි තියන්නේ. ඒ ශක්තිය අපිට ලබා දුන්නොත් ඒ ගමන අපිට යන්න පුලුවන් වෙයි කියලා හිතනවා."
"මේක අපි සතුටු වෙනවා වගේම ලෝකය දින්නා කියලා හිතන්නේ නැහැ. තරුෂි වුනත් එහෙම හිතන්නේ නැහැ. ඒ මනස හැදිලා තියෙන්නෙත් ඒ විදිහට. ඒ නිසා අපි බොහොම පරිස්සමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා." ඔහු කියා සිටියේය.
තරුෂිට ඇමෙරිකාවෙන් ශිෂ්‍යත්වයක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මලල ක්‍රීඩා අංශයෙන් දක්ෂතා දක්වන තරුෂි හට ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයකින් ශිෂ්‍යත්වයක් හිමිව ඇති බවත් ලබන වසරේදී ඇය එරට බලා යනු ඇති බවත් පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු බීබීසි සිංහල සේවයට පැවසුවේය.
"තරුෂි ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් දක්ෂ කෙනෙක්. ඇය මෙවර උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටිනවා. විභාගය ජනවාරි මාසයට කල් ගිය එකත් හොඳයි ඇයට."
"ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ඇය පෙන්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක් ඇයට ශිෂ්‍යත්වයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මගේ නම් බලාපොරොත්තුව ඒ ශිෂ්‍යත්වය කරා යැවීමට."
"මොකද එයාලා ගොඩක් ආර්ථික අපහසුතා මැද තමයි මේ ගමන ආවේ. ඇයගේ දෙමව්පියෝ ලොකු කැපවීමක් කරනවා. ඉතින් තරුෂි ජයගන්නවා වගේම ඇයගේ දෙමව්පියන් සහ පවුලේ අයත් ජය ගන්න ඕන. අධ්‍යාපන කටයුතු කරගෙන, ක්‍රීඩාව නතර කරන දවසට ආර්ථිකයත් ශක්තිමත් කරගෙන, පවුලේ අයවත් හොඳින් තියන්න පුළුවන් තැනකට ඇය එන්න ඕන කියලා."
"ඒ නිසා බලාපොරොත්තු වනවා ලබන වසරේදී ඇයට ඒ ගමන යන්න යෑමට අවශ්‍ය සුදානම ලබා දෙන්න. "
"මොකද අපේ කියලා ඇයව රටේම තියා ගන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ." තරුෂි කරුණාරත්නගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, JUNG YEON-JE/AFP via Getty Images
21ක් වසරකට පසු මලල ක්‍රීඩා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි
චීනයේ හැංජෝ නුවර පැවැත්වෙන 19 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට තරුෂි කරුණාරත්න ( ඔක් 4 වැනිදා) සමත් වූවාය.
මීටර් 800 කාන්තා ධාවන තරග ඉසව්වෙන් ඇය මෙම රන් පදක්කම දිනා ගැනීමට සමත් වුයේ මිනිත්තු 2යි තත්පර 03 දශම 2.0 කින් තරගය අවසන් කරමින්ය.
ආසියානු ක්‍රීඩා උළලක මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව මීට පෙර අවසන් වරට රන් පදක්කමක් ජයග්‍රහණය කළේ 2002 වසරේදීය.

ඡායාරූප මූලාශ්‍රය, JUNG YEON-JE/AFP via Getty Images
වසර 9 කට පසු හිමිවූ රන් පදක්කම
ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව අවසන් වරට රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුයේ 2014වසරේදී. ඒ පිරිමි ක්‍රිකට් තරග ඉසව්වෙනි.
ඒ අනුව වසර 9 කට පසුව පළමුවරට ශ්‍රී ලංකාවට නැවත ආසියානු ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් හිමිකර දීමට තරුෂි කරුණාරත්න සමත් විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post

ඡායාරූප මූලාශ්‍රය, JUNG YEON-JE/AFP via Getty Images
ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් පාසැල් ක්‍රීඩිකාවන් කවුද ?
තරුෂි කරුණාරත්න වාර්තා පොත් අතරට එක්වන්නේ ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් දිනා දුන් තෙවන ක්‍රීඩිකාව ලෙසය.
මීට පෙර ආසියානු ක්‍රීඩා උළෙල දෙකකදී පාසැල් යන වයසේ පසුවු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දිනා දීමට සමත් වී තිබේ.
1994 සහ 1998 වසරවලදී පිළිවෙලින් දමයන්ති දර්ශා සහ ශ්‍රියානි කුලවංශ මෙලෙස ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දිනා දීමට සමත් විය.
ඉතිහාසය අලුත් කළ තවත් පදක්කම් දෙකක්
මේ අතර ( ඔක් 04 වෙනිදා) ආසියානු ක්‍රීඩා උළෙලේදී පැවති කාන්තා සහ පිරිමි සහය ධාවන ඉසව් ද්විත්වයෙන් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
එහිදී මීටර් 400 x 4 ධාවන ඉසව්වේ දී ශ්‍රී ලංකා කණ්ඩායම, එම තරගය මිනිත්තු 03 යි තත්පර 30 දශම 8 යි 8 කින් නිමා කරමින් සිය පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය.
ආසියානු ක්‍රීඩා උළෙලේ සහය දිවීමේ කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාව පදක්කමක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්වෙයි.
මේ අතර පිරිමි මීටර් 400 x 4 සහය දිවීමේ ඉසව්වේ දී මිනිත්තු තුනයි තත්පර 02 යි දශම 5 යි 5 කින් තරගය අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි සහය දිවීමේ ඉසව්වෙන් පදක්කමක් ජයග්‍රහණය කරනු ලැබුවේ 2006 වසරෙන් පසුව වීමද විශේෂත්වයකි.








