ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යන කණ්ඩායම කවුද?

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 97 දෙනෙකු ඇතුළු 153 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කමක් අභියස සිටින ශ්‍රී ලංකාවට අද (සැප්තැම්බර් 25 වැනිදා) සුවිශේෂී දිනයකි.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම රන් පදක්කම උදෙසා ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම සමග අද අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවට අනිවාර්යෙන් හිමිවන පදක්කම

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින් ආසියානු ක්‍රීඩා උළලේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ( සැප්. 24 වැනිදා) සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මීට පෙර 2014 වසරේ දකුණු කොරියාවේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය.

අද තරගය ජය ලැබූහොත් රන් පදක්ක දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අවස්ථාව උදාවන අතර අද තරගය ජය ලැබීමට නොහැකි වුවහොත් ඔවුන්ට රිදී පදක්කම හිමිවනු ඇත.

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල

චීනයේ හැංජෝ නුවර පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල ලබන ඔක්තෝම්බර් මස 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

එම ක්‍රීඩා උළෙල පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණත් චීනයේ පැවති කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් එය 2023 වර්ෂය දක්වා කල් දැමීමට බලධාරීන් විසින් කටයුතු කරන ලදී.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා රටවල් 43ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12,000කට අධික පිරිසක් සහභාගි වන බව තරග සංවිධායකයින් සඳහන් කර සිටියි.

රන් පදක්කම් 481ක් වෙනුවෙන් ක්‍රීඩා තරග ඉසව් 40කට ඔවුහූ තරග වදිති.

ආසියානු ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකා නියෝජනය

Members of Team SriLanka take part in the athletes parade during the opening ceremony of the 19th Asian Games at the Hangzhou Olympic Sports Centre Stadium on September 23, 2023 in Hangzhou, Zhejiang Province of China

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 97 දෙනෙකු ඇතුළු 153 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වේ

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 97 දෙනෙකු ඇතුළු 153 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වේ.

එම පිරිසට ක්‍රීඩකයින් 62ක් සහ ක්‍රීඩිකාවන් 34ක් අයත් වෙති.

මීට අමතරව කළමනාකරුවන් 20 දෙනෙකු, පුහුණුකරුවන් 24 දෙනෙකු, වෛද්‍ය කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සහ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් 7 දෙනෙකු ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චීනය බලා ගොස් ඇත.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩා ඉසව් 21 ක් සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුව

ප්‍රධාන වශයෙන් පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකට අමතරව මලල ක්‍රීඩා, බර ඉසිලීමේ සහ මල්ලව පොර , ශ්‍රී ලංකාව මෙවර පදක්කම් බලපොරොත්තුවෙන් පසුවන ක්‍රීඩා ඉසව් වේ.

තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් දිනු මලල ක්‍රීඩිකාවන් වන නදීෂා රාමනායක සහ තරුෂි කරුණාරත්න සහ පිරිමි මීටර් 400 x 4 සහය දිවීමේ කණ්ඩායම කෙරෙහි ශ්‍රී ලංකාව වැඩි බලාපොරොත්තුවක් තබා ඇත.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සිදුවූ දේ

මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ඊට තරග කරන්නේ ඔලිම්පික් ධජය යටතේ බව ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනය කර සිටියි.

ඒ, මෙරට රග්බි සම්මේලනයට එරෙහිව ජාත්‍යන්තර රග්බි සම්මේලනය පනවා ඇති තහනම හේතුවෙනි.

ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරග සැප්තැම්බර් 26 දක්වා පැවැත්වේ.

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය

1951 වසරේදී ඉන්දියාවේ නව දිල්ලිහිදී ආරම්භ වූ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව සහභාගි විය.

එම ක්‍රීඩා උළෙලේදී පිරිමි රිටි පැනීමේ ඉසව්ව සඳහා තරග කළ ශ්‍රී ලංකාවේ එම්.ඒ. අක්බාර් රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය.

එම පදක්කම ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලකදී වාර්තා කළ පළමු පදක්කම ලෙස ඉතිහාසයට එක්විය.

ඉන් පසුව මේ දක්වා ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 24ක් ජයග්‍රහණය කිරීමට සමත් විය.

හිමිකර ගත් රන් පදක්කම් අතර මලල ක්‍රීඩා ඉසව් වලින් පදක්කම් 10ක් සහ ක්‍රිකට් ක්‍රීඩාවෙන් එක් පදක්කම් ඇතුළත් වේ.

2018 වසරේදී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට එකඳු හෝ පදක්කමක් ජයග්‍රහණය කිරීමට නොහැකිවීම කැපී පෙනෙන සිදුවීමක් විය.