ප්‍රදීප් නිලංග දෑළ ශ්‍රී දළදා මාලිගාවේ තෙවරක් දියවඩන නිලමේ ධූරයට පත්වූ පළමු වැන්නා වෙයි

ශ්‍රී දළදා මාලිගාවේ 19 වන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ සිය මව (වම) සහ පියා (දකුණ) සමග. මව භික්ෂුණියක වන බැවින් මෙහි උන්වහන්සේ සිවුරක් ඇඳ සිටී.
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී දළදා මාලිගාවේ 19 වන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ සිය මව (වම) සහ පියා (දකුණ) සමග
    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය සඳහා වන දියවඩන නිලමේ ධූරය සඳහා ප්‍රදීප් නිලංග දෑළ යළිත් තේරී පත් වූයේ වැඩි ම වාර ගණනකින් දියවඩන නිලමේ ධූරයට පත් වූ අයෙකු ලෙස ඉතිහාසයට එක් වෙමිනි.

2005 වසරේදී මුල් වරට දියවඩන නිලමේ ධූරය සඳහා තේරී පත්වූ ඔහු 2015 වසරේ පැවති නිලවරණයෙන් ද ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය සඳහා තේරී පත් වූයේ, දෙවන වරට ය.

දශක දෙකක කාලයක් පුරා විහිද යන ඔහුගේ දියවඩන නිලමේ ධුර කාලය තුළ ආන්දෝලන ද මතු විය.

ඔහුට අමතරව මෙම නිලවරණයට ඓතිහාසික පස්ගම ශ්‍රී නාථ දේවාලයේ සහ ඓතිහාසික මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර ශ්‍රී නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් සුබසිංහ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයකු වන ගාමිණී කළුහෙන්දිවල, පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරන බදුල්ල සෝනුත්තර රජමහා විහාරයේ හා සතර මහා දේවාලවල මහ නිලමේ රොෂාන් ප්‍රියදර්ශන සහ යුද්ධ හමුදා විශ්‍රාමික කර්නල් නන්ද මඩුගල්ලේ ඇතුළු 7 දෙනෙක් ඉදිරිපත් වූහ.

දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය සඳහා පත්වන දියවඩන නිලමේවරයාට ඒ සඳහා වසර දහයක කාලයක් වගකීම් පැවරෙන අතර ඔහු පත් කිරීමේදී ඡන්ද විමසීමක් සිදු කළ ද එය නිලවරණයක් නොව බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත අනුව කැඳවන ලද රැස්වීමක මත විමසීමක් වන්නේ ය.

මේ, තෙවන වරටත් දියවඩන නිලමේ ධූරයට තේරී පත් වූ ප්‍රදීප් නිලංග දෑළ ගැන කෙරෙන විමසා බැලීමකි.

ගොඩැල්ල වලව්වෙන් මාලිගාවට

ප්‍රදීප් නිලංග දෑල

ඡායාරූප මූලාශ්‍රය, Pradeep Nilanga Dela | Facebook

1973 වසරේ ඔක්තෝබර් 28 වන දින රත්නපුර දිස්ත්‍රික්කයේ දෑළ නම් ගම්මානයේදී ඩික්සන් සරත්චන්ද්‍ර දෑළ සහ සිසාර දෑළට දාව වනිගසේකර වනසිංහ මුදියන්සේ රාළහාමිලාගේ ප්‍රදීප් නිලංග දෑළ මෙලොව උපත ලැබී ය.

ඔහුගේ මව සිසාර දෑළ, ගුරුවරියක ලෙස සේවය කර විශ්‍රාම ලැබීමෙන් පසු පැවිදි දිවියට එළඹ පැලවත්ත අශෝකා භාවනා අසපුවේ මේ වන විට වැඩ වසයි.

ඔහු 1978 වසරේදී කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත්ව මූලික අධ්‍යාපනය ලබා ද්විතීයික අධ්‍යාපනය සඳහා 1980 වසරේදී කොළඹ නාලන්දා විදුහලට ඇතුළත් විය.

නාලන්දා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු 1992 වසරේදී නාලන්දාවේ කීර්තිමත් ම ශිෂ්‍යයාට හිමි සම්මානය ද හිමිකර ගෙන තිබේ.

පාසලේ වාණිජ සංගමය, සාහිත්‍ය සංගම්, බෞද්ධ සංගම් වැනි ශිෂ්‍ය ක්‍රියාකාරකම් රැසකට ද ඔහු නායකත්වය ලබා දී ඇත.

සමන් දේවාලයේ බස්නායක නිලමේ ධූරයේ සිට දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය දක්වා

ප්‍රදීප් නිලංග දෑල දළදා මාලිගාව ඉදිරිපස සිටින අයුරු
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

1999 වසරේ පළමු වරට සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ධූරයට පත්වූ එවකට 26 හැවිරිදි වියේ පසුවූ ප්‍රදීප් නිලංග දෑළ 2004 වසරේදී නැවතත් එම ධූරයට තේරී පත් විය.

රුහුණු මහා කතරගම දේවාලයේ ද බස්නායක නිලමේ ධූරයේ කටයුතු කර ඇති ඔහු 2001 වසරේදී ඒ සඳහා තේරී පත්විය. යළිත් 2005 වසරේදී ඔහු ඒ සඳහා දෙවන වරට පත් විය.

2005 වසරේදී ජූලි 21 වන දින ඔහු ප්‍රථම වරට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ලෙස තේරී පත් වන අතර අනතුරුව 2015 වසරේ පැවති නිලවරණයෙන් දෙවන වරට ශ්‍රී දළදා මාලිගාවේ 19 වන දියවඩන නිලමේවරයා ලෙස තේරී පත් විය.

1815දී සිංහල රාජ්‍යය යටත් විජිතයක් කර ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන් කලක‍ට පසු පූජනීය දළදා වහන්සේගේත් මහනුවර පිහිටි ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන කර ගත් මාලිගා අංගයන්ගේත් ප්‍රධාන ගිහි භාරකාර ධූරය හිමි කරවූයේ දියවඩන නිලමේවරයාට ය.

දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන පූජා සත්කාර ඉටු කරමින් දළදා වහන්සේට ගෞරව දැක්වීම සහ ආරක්ෂා කිරීම සෑම දියවඩන නිලමේවරයෙකුට ම පැවරෙන යුතුකම් වේ.

ඔහුගේ ධූර කාලය තුළ ශ්‍රී දළදා මාලිගාවේ සිදුවූ සංවර්ධන කටයුතු බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්ත ද ඒ පිළිබඳව ඇතැම් පාර්ශව වෙතින් විවේචන ද එල්ල විය.

ඉතිහාසය වෙනස් කළ දියවඩන නිලමේවරයා

දියවඩන නිලමේවරයා ලෙස තේරී පත් වූ ප්‍රදීප් නිලංග දෑල

1814 සිට මේ දක්වා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරුන් 19 දෙනෙකු කටයුතු කර ඇති අතර දහනව වැන්නා ප්‍රදිප් නිලංග දෑළ ය.

නව නිලවරණයේ ප්‍රතිඵලයත් සමග ඔහු ම වැඩි ම කාලයක් එම ධූරය දැරූ නිලමේවරයා බවට පත් වෙනු ඇත.

ඔහුට පෙර වැඩි ම වසර ගණනන් අඛණ්ඩව නිලමේ ධූරය දරා ඇත්තේ පුංචි බණ්ඩා නුගවෙල නිලමේවරයා ය. ඔහුගේ නිල කාලය (1916 -1937) වසර 21කි. එමෙන් ම ඉතිහාසයේ අඩු ම කාලයක් දියවඩන නිලමේ ධූරය දරා ඇත්තේ කුඩා මොල්ලිගොඩ නිලමේවරයා ය. ඔහුගේ නිල කාලය වසරක් (1827 - 1828) පමණි.

ව්‍යාපාර සහ සේවා

දියවඩන නිලමේ ධූරයේ කටයුතු කරන අතරතුර ප්‍රදීප් නිලංග දෑළ ව්‍යාපාර හා වෙනත් සේවා කටයුතුවල නිරත වූ බව ඔහුගේ ජීව දත්ත සටහනේ සඳහන් වෙයි.

එහි සඳහන් පරිදි, Elhena Tea Factory (PVT ) Ltdහි කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඔහු How To Drive රියැදුරු පාසලේ නිර්මාතෘවරයා සහ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

එමෙන් ම, ඔහු Junior Planet ළමා ක්‍රීඩා විනෝද මධ්‍යස්ථානයේ නිර්මාතෘ හා සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

ඊට අමතරව, ඉදිකිරීම් සමාගමකට ද තමන් වර්තමානයේ හිමිකම් කියන බව ඔහු මෑතකදී යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසීය.

ඔහුගේ ප්‍රජා සත්කාර සේවා අතර ඔහු විසින් නිර්මාණය කරන ලද ශ්‍රී දළදා මාලිගාවේ 'අපේ සත්කාරය' පුණ්‍ය පදනම කැපී පෙනෙන අතර එමගින් රට තුළ පුරාණ විහාරස්ථාන සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය කිරීම, දරිද්‍රතාව අවම කිරීම හා අධ්‍යාපනය, සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කිරීම අරමුණු කරයි.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ සහ හීළෑ අලි ඇත් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කරයි.

ආන්දෝලන සහ චෝදනා

ප්‍රදීප් නිලංග දෑළ ඇතෙකු සමග. ඇතාගේ එක් පසකින් දිස්වන අතර, සුදු කමිසයක් සහ නිල හා කොළ පැහැති සරමක් ඇඳ සිටින ප්‍රදීප් නිලංග දෑල ඇතාට යමක් දීමට සැරසෙන අයුරු දිස්වේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රදීප් නිලංග දෑළ ඇතෙකු සමග

ඉකුත් සැප්තැම්බර් මස කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික සංවිධායක නිලුක්ෂ නන්ද කුමාර , "ජනාධිපතිවරුන් 6 දෙනෙකු යටතේ වසර 20ක කාලයක් දියවඩන නිලමේ ධූරය දැරූ ප්‍රදීප් නිලංග දෑළ යළිත් එම ධූරයට පත් වීම ගැන නැවත සලකා බලන" ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ ය.

"අපේ රටේ විධායක ජනාධිපතිවරකුට දෙවරයි ඉන්න පුළුවන්. මේ නිලමේවරයා දැන් දෙවැනි පාර ඉන්නේ. අවුරුදු 10 ගාණේ දෙපාරක්. එතකොට ජනාධිපතිවරුන් 6 දෙනෙකු යටතේ මේකේ ඉන්නවා," ඔහු පැවසීය.

තවදුරටත් ඔහු මෙලෙස අදහස් දැක්වීය: "නිලංග දෑළ කියන මේ නිලමේවරයාට විරුද්ධව අපි දැක්කා, විවිධ පාර්ශව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් කොමිසමට ගිහිල්ලා පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා. මෙහෙම කෙනෙක් නැවත මේ තනතුරට පත් කරනවා ද කියන කාරණය තියෙනවා."

ඔහු අවධාරණයේ කළේ, "මේ ගොල්ලෝ මේ තනතුරුවලට එන්න කලින් ඉඳලා ම දූෂිතයෝ" යනුවෙනි.

"අපි දැක්කනේ දේශපාලනඥයෝ විහාර දේවාලගම් ආඥා පනත වෙනස් කරලා ඒ පවුල්වල දරුවෝ පත් කර ගත්ත විදිහ," ඔහු පැවසීය.

නිලුක්ෂ නන්ද කුමාර ප්‍රකාශ කළේ, ප්‍රදීප් නිලංග දෑළට පෙර දියවඩන නිලමේ ධූරය දැරූ අය වෙත ඔහුට මෙන් චෝදනා එල්ල නොවූ බව ය.

කෙසේ වෙතත්, ඊට අදාළ විමර්ශන පවත්වා තම "නිවැරදිභාවය තහවුරු කළ" නඩු තීන්දු පවතින බව මෙම චෝදනාවලට පිළිතුරු දෙමින් ප්‍රදීප් නිලංග දෑළ මෑතකදී යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

එම සම්මුඛ සක්කඡාවේදී ඔහු තමාට අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම පිළිබඳව මෙන් ම රන් ආලේපිත මෝටර් රථය පිළිබඳව එල්ල වන චෝදනාවලට ද පිළිතුරු දුන්නේ ය.

"ගෝල්ඩ් ප්ලේටඩ් කාර් එක කියන්නේ, ඒක ඉලෙක්ට්‍රෝ ප්ලේටඩ්. ඉතින් ඒ වගේ කාර් එකක බෆර් එකක්, හෙඩ් ලයිට් කවර්ස්, පැති කණ්ණාඩි වගේ දේවල් මරදානේ ඩැනට් කියන ආයතනයට ගිහින් කර ගත්ත ඒවා. පරණ කාර් රිස්ටෝර් කරන එක තමයි මගේ විනෝදාංශය. එහෙම කරපු කාර් එකක් තමයි ඒ," ඔහු පැවසීය.

අලි ඇතුන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ: "මං ගාව ඉන්නේ බණ්ඩා සහ රාජා කියන අලි දෙදෙනා. ඒ දෙන්නා මගේ පියා මට නීත්‍යනුකූලව අරන් දීපු දෙන්නෙක්" යනුවෙනි.

මේ අතර, ප්‍රදීප් නිලංග දෑළ ප්‍රකාශ එහිදී තවදුරටත් පැවසුවේ, දළදා මාලිගාව නඩත්තු කිරීම සඳහා වසරකට රු. බිලියනයක මුදලක් අවශ්‍ය බව ය.

එමෙන් ම එහි සේවකයින් 300ක් පමණ සේවය කරන බවත් ඔවුන්ගේ වැටුප් සහ දීමනා සඳහා මසකට රු. මිලියන 18ක් පමණ වැය වන බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.