'මල් වට්ටි, පන්සල් දේශපාලනය' නොමැතිව ජනාධිපතිවරණය ජයගත නොහැකි ද?

ඡායාරූප මූලාශ්‍රය, Ranil Wickremesinghe
ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වා දුන් දේවානම්පිය තිස්ස රජ සමයේ සිට මෙරට රාජ්‍ය පාලනය සහ බුද්ධාගම අතර අත්‍යන්ත බැඳීමක් පැවතුණු බවට ඉතිහාසය සාක්ෂි දරයි.
ඒ අනුව, ලක්දිව පාලනය කළ රජවරුන් බුදුදහම වැළඳ ගැනීම හේතුවෙන් සාමාන්‍ය වැසියන් ද ඒ අනුව ක්‍රියා කළ බව පෙනී යයි.
නිශ්චිත ආගමික හික්මීමක් නොතිබූ ලක්දිව ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩ නැගීම සඳහා බුදුදහම ඍජුව බලපෑ බව ඉතිහාසඥයින් මෙන් ම පුරාවිද්‍යාඥයින් ද පෙන්වා දී තිබේ.
අතීතයේ තත්ත්වය
ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී පමණ ශ්‍රී ලංකාවට රැගෙන එන ලද දන්ත ධාතුව පසුව ලක්දිව රාජ්‍යත්වයේ සංකේතයක් බවට පත් විය.
මුල් කාලීනව දන්ත ධාතුව ආරක්ෂා කිරීම ලක්දිව පාලනය කරන රජුට පැවරුණු අතර, පසුකාලීනව එය රාජ්‍යත්වය ආරක්ෂා කර ගැනීමේ සංකේතයක් බවට පත්වූ බව පෙනේ.
මේ අතර, රට එක්සේසත් කිරීම සඳහා එළාර රජුට එරෙහිව දුටුගැමුණු කුමරු ගෙන ගිය සටනට භික්ෂූන් වහන්සේගේ ඍජු ආශීර්වාදය ලැබුණු බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන් කරුණු අනුව පෙනී යයි.
මහා විහාරය සමග යහපත් සබඳතාවක් පවත්වාගෙන ගිය දුටුගැමුණු රජු පිළිබඳව මහාවංශයේ වීර කාව්‍යයක් වැනි විස්තර සමුදායක් තිබේ.
එහෙත්, මහා විහාරයට ළැදිකමක් නොදැක්වූ වළගම්බා, මහසෙන් වැනි රජවරුන් ලක්දිවට විශාල මෙහෙවරක් ඉටු කළ ද, ඔවුන්ට මහාවංශයේ හිමිව ඇත්තේ, සුළු ඉඩක් බව ඉතිහාස විශ්ලේෂකයින් බොහෝ දෙනෙකුගේ අදහස යි.
මේ අනුව, බලන කල ලක්දිව ඉතිහාසයේ රාජ්‍ය පාලනයට අතීතයේ සිට ම බෞද්ධ සංස්කෘතියේ බලපෑමක් පැවති බව පෙනී යයි.
කෙසේ වෙතත්, අතීතයේ භික්ෂූන් වහන්සේලාට මෙන් ම රාජ්‍ය පාලකයින්ට ද රට ආරක්ෂා කර ගැනීම සඳහා යහපත් පරමාර්ථ පැවති බව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහගේ අදහස යි.
මෑත ඉතිහාසයේ ප්‍රවණතා
ශ්‍රී ලංකාවේ දේශපාලන ජයග්‍රහණ සඳහා බෞද්ධ සංස්කෘතිය බලපාන්නේ, මෙරට සමස්ත ජනගහනයෙන් 70.2%ක් බෞද්ධාගමිකයින් වන හෙයිනි. (2012 සංගණනය)
දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ, එම සාධකය මත බොහෝ දේශපාලකයින් පමණක් නොව දේශපාලන පක්ෂ ද බෞද්ධ සංස්කෘතියේ නියෝජිතයින් දේශපාලනික අවශ්‍යතා සඳහා භාවිත කරන බව ය.
එපමණක් නොව, බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද සිය භෞතික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා දේශපාලනඥයින්ට බලපෑම් කරමින් සිටින බව ද බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Anura Kumara Dissanayake
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක: ශ්‍රී ලංකාවට නිදහස හිමි වීමෙන් පසු දේශපාලනික ජයග්‍රහණ සඳහා බෞද්ධ සංස්කෘතිය පාදක කර ගත් අවස්ථා රැසක් තිබේ.
ඉන් සුවිශේෂී අවස්ථාවක් වූයේ, 1956 වසරේදී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුතුව ගොඩ නැගූ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය යි.
පංච මහා බලවේගයේ ප්‍රධානතම බලවේගය ලෙස පැවතියේ, සංඝ ප්‍රජාව යි.
එවර, බණ්ඩාරනායක ප්‍රමුඛ සන්ධානය ශ්‍රී ලංකාවේ පාලන බලය අත්පත් කර ගැනීමට සමත් විය.
‘මැතිවරණයට සති තුන හතරකට පෙර මධ්‍යම, සබරගමුව හා බස්නාහිර පළාත්වල අභ්‍යන්තර ප්‍රදේශවල පිහිටි ඡන්ද කොට්ඨාසවල භික්ෂූහු ප්‍රසිද්ධියේ ම ඡන්ද කටයුතු කළහ. දීප්තිමත් කහ සිවුරු පොරවාගෙන මංමාවත්වල ගමන් කරන ආකාරයත්, ජනතාව සමග කතා කරන ආකාරයත්, ගෙන්ගෙට ගොස් ගිහියන් හමුවන ආකාරයත් දක්නට ලැබුණු,’බව හවර්ඩ් රිගින්ස් විසින් 1960 වසරේදී පළ කරන ලද Ceylon: Dilemmas of a New Nation නමැති ග්‍රන්ථයේ සඳහන් වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Sajith Premadasa
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ආර්. ප්‍රේමදාස: මෑත කාලීන දේශපාලන කටයුතු සඳහා බෞද්ධ පසුබිම භාවිත කළ තවත් ප්‍රධාන දේශපාලනඥයෙකි, ආර්. ප්‍රේමදාස.
1990 ගණන්වල ඔහු දිනපතා මල් වට්ටි රැගෙන පන්සල් යන ආකාරය එකල රූපවාහිනී පුවත් අතරතුර විකාශය කෙරිණි.
මහින්ද රාජපක්ෂ: මහින්ද රාජපක්ෂ ද බෞද්ධ පරිසරය සිය දේශපාලනික කටයුතු සඳහා ඍජුව භාවිත කළ දේශපාලනඥයෙකි.
ඔහු 2015 වසරේ ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු වසර කිහිපයක් තිස්සේ දිවයිනේ බොහෝ විහාරස්ථානවල රැස්වීම් පවත්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාව අතරට ගෙන යාමට උත්සහ කළේ ය.
මීට අමතරව, කැලණිය රජ මහා විහාරය ආශ්‍රිතව නාගයෙකු මතු වූ බව ප්‍රසිද්ධියට පත් කරමින්, එය නැරඹීමට පැමිණි පුද්ගලයින්ට නෙළුම් පොහොට්ටුවක් පිරිනැමීමේ සිද්ධිය ද සුවිශේෂී සිද්ධියකි.
අවසානයේ, 2019 වසරේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළේ ය.
ජයග්‍රහණය ලැබීමෙන් පසු දිවුරුම් දීමේ උත්සවයේදී ගෝඨාභය රාජපක්ෂ සිය කතාවේදී ඇඟවූයේ, තමන් සිංහල බෞද්ධයින් බහුතරයකගේ ඡන්දයෙන් ජයග්‍රහණය කළ බව ය.
රනිල් වික්‍රමසිංහ: බෞද්ධ පදනම මත බොහෝවිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ රනිල් වික්‍රමසිංහ බොහෝවිට දුෂ්ටයෙකු බවට පත්වූ බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
ඔහුට කිසිදු අවස්ථාවක ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙකු වීමට ඉඩක් නොලැබිණි.
කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂගේ ඉවත් වීමෙන් පසු ජනාධිපතිවරණයට පත්වූ රනිල් වික්‍රමසිංහ මේ වන විට බෞද්ධ සංස්කෘතියේ මිතුරෙකු ලෙස ක්‍රියාකිරීමට උත්සහ දරමින් සිටින බව විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසයි.
'ගිහි - පැවිදි - දේශපාලක තුන් කට්ටුව ම එක ම ගමනක’
අතීතයේ භික්ෂූන් වහන්සේ මෙන් ම පාලකයින් ද රටේ අභිවෘද්ධිය වෙනුවෙන් අවංකව කටයුතු කළ බව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ පවසයි.
බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ඇය පෙන්වා දුන්නේ, වත්මන් දේශපාලන ක්‍රමය හේතුවෙන් භික්ෂු පරමාර්ථවලින් බැහැර වුණු භික්ෂූන් පිරිසක් බිහි වී ඇති බව ය.
‘පරමාර්ථයෙන් ඔක්කොම කපටිකම් කරන්නේ. දේශපාලනඥයොත් එහෙම යි. භික්ෂූන් වහන්සේත් එහෙම යි. භික්ෂු පරමාර්ථවලින් බැහැර වෙච්ච භික්ෂූන් වහන්සේලා පිරිසක් බිහි වෙලා ඉන්නවා. ඒ පරමාර්ථවලින් බැහැර වෙන්නත් මූලික ම හේතුව මේ දේශපාලනය. දේශපාලනඥයො භික්ෂූන් වහන්සේලාගේ වැරදිවලට දඬුවම් දෙන්නෙ නෑ. භික්ෂූන් වහන්සේලා දේශපාලනඥයින් කරන වැරදිවලට සද්ද නැතිව ඉන්නවා. ඉතින් ඔය පසුබිම යටතේ ජනතාවත් මංමුලා වෙලා ඉන්නවා. බුදුදහම නෙවෙයි අපි දැන් අනුගමනය කරන්නෙ. බුදුදහමේ යන්තම් කොටස් කිහිපයක් අරගෙන තමතමන්ට අවශ්‍ය ආකාරයට වාසියට හරවගත්ත දෙයක් තමයි මේ තියෙන්නෙ.’
ජනතාව, භික්ෂූන් වහන්සේ මෙන් ම දේශපාලනඥයින් යන ‘තුන් කට්ටුව ම’ එක ම වැරදි පාරක යමින් සිටින බව ද ඇය පැවසීය.
ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ දේශපාලන ජයග්‍රහණ කෙරෙහි මල් වට්ටි, පන්සල් දේශපාලනය තවමත් වලංගු බව ය.
එම තත්ත්වය වෙනස් නොවුණහොත් රට ප්‍රපාතයට වැටීම නතර කළ නොහැකි බව ද ඇය අවධාරණය කළා ය.
‘දීඝ නිකායේ මහා සුදස්සන සූත්‍රයේ තියෙනවා, මේ වෙන දේවල් ගැන බුදු හාමුදුරුවො දේශනා කරපු දේවල් ටිකක්. ඒක තමයි දැන් මේ සිද්ධ වෙන්නේ. ඔක්කොම කනපිට ගහගෙන යන්නේ. මිනිස්සුත් මේක තේරුම් ගන්න බලන්නෙ නෑ. වැරදි කරන මිනිස්සු තමයි වැඩිපුර ඉන්නෙ. මිනිස්සුත් කැමති යි අර වැරදි වහගෙන ඔක්කොම එක ගමනක යන්න. මේ තුන් කට්ටුව ම දැන් යන්නෙ එක ගමනක. ඔක්කොම වැරද පාරෙ යන්නෙ. වැරදි පාරෙ යන එක දැන් සාමාන්‍යකරණය වෙලා ඉවර යි. මේ සම්බන්ධයෙන් සැබෑ වෙනසක් විය යුතු ම යි. නැත්නම් හදන්න බෑ. ඔක්කොම ප්‍රපාතයට වැටෙනවා.’
මේ අතර, මෑත කාලීනව ‘ශ්‍රී ලාංකික ක්‍රමයේ වර්ධනයට අවශ්‍ය හෝ අනවශ්‍ය සෑම තීරණයකට ම බුද්ධි ගෝචර විමසීමකින් තොරව භික්ෂූන් දේශපාලන බලය අතට ගැනීමට යාම නිසා ශ්‍රී ලාංකික අනන්‍යතාවට බාහිර හා අභ්‍යන්තර වශයෙන් කැළැල් රාශියක් ඇති වූ,’ බව සබරගමුව විශ්වවිද්‍යාලයේ ප්‍රදීප් උළුවඩුගේ සහ ප්‍රභාෂ සිරිවර්ධන විසින් පළ කරන ලද පර්යේෂණාත්මක ලිපියක සඳහන් වෙයි.














